මගේ දුව කර ගත් පින් කඳ මතක් වෙන කොට මම කොහොම හරි දුක වාව ගන්නවා
– විහඟනාගේ මව
“අනිත් දුවලා විභාග ප්‍රතිඵල අරගෙන ගෙදර ආවාම එයාලගේ අම්මලා තාත්තලා වගේ අපිත් ඒක සතුටින් සමරන්න හිටියා. ඒත් ඒ වාසනාව අපට අහිමි වුණා. ඒත් අපි දන්නවා, අපේ දුව කර ගත්ත ඒ උතුම් පින්කම නිසා එයා කොතැනක හරි සතුටින් එයාගේ විභාග ප්‍රතිඵලය දැකලා අපිත් එක්ක අනෙක් හැමදෙනාම එයාට කරන ආශීර්වාද දිහා බලාගෙන ඇති කියලා.” යනුවෙන් මොළය මිය යෑම හේතුවෙන් මරණයට පත්ව අවයව දන්දී පුද්ගලයන් හත් දෙනකුට ජීවිතය දුන් මෙවර උසස් පෙළ විභාගයේ ඒ සමාර්ථ්‍යය තුනක් ගෙන ඇති විහඟනා නුවන්මිණි ආරියසිංහ සිසුවියගේ මව්පියෝනෙතට කඳුළු එක් කරමින් පැවැසුවෝය.
කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා සිසුවිය මෙවර උසස් පෙළ විභාගයේ වානිජ විෂය ධාරාවෙන් A සමාර්ථ්‍යය තුනක් හිමි කරගෙන තිබේ. නමුත් විභාග ප්‍රතිඵල ලැබෙන විට අනෙක් දරුවන්ට මෙන් එම විභාග ප්‍රතිඵලය තමන්ගේ ගුරු භවතුන්, යහළු යෙහෙළියන්, මව්පියන් සහ ඥාතීන් සමඟ බෙදා ගැනීමට ඇයට මාරයා අවස්ථාව දුන්නේ නැත. අද ඇය මෙලොව හැර ගොසිනි.
දක්ෂ දැරියක වූ ඇය වානිජ අංශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 176 වැනි ස්ථානයත්, දිවයිනෙන්ම 2256 වැනි ස්ථානයත් හිමි කරගෙන තිබේ. ඇයට හිමිව ඇති ඉසෙඩ් අගය 1.7 වේ.
විහඟනා අඹන්පොල පදිංචි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක බාලම දරුවාය. ඇය හදිසි රෝග තත්ත්වයකින් මිය ගිය ද, ඇයගේ ශරීර අවයව වෙනත් 7 දෙනකුට දන් දුන්නේ ඇයගේ අවසන් කැමැත්ත පරිදිය. වැඩිමහල් සොහොයුරෙක් සහ සොහොයුරියක් ද ඇයට සිටී. විහඟනා උසස් පෙළ වානිජ විෂය ධාරාව හදාරා ඇත්තේඉංග්රීසි මාධ්‍යයෙනි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මාර්තු මස 22 වැනිදා මෙලොව හැර ගියාය.
පියා උපුල් ආරියසිංහ (57) මහතා නෙතට ආ කඳුළු තද කර ගනිමින් මෙලෙස පැවැසූවේය.
“අපි ආදරේට දුවට කිව්වේ බට්ටි කියලා. දුව විභාගෙ ලියලා ආවට පස්සේ නිතරම වගේ කිව්වේ ඔන්න බලන්නකෝ මම විභාගෙ ඉහළින්ම පාස්වෙනවා. මම පේරාදෙණිය කැම්පස් එකට යනවා. ගිහින් හොඳට විභාග පාස් වෙලා බැංකුවක ජොබ් එකක් කරන්න තමයි ආස කියලා. අනේ අපිත් හරි කැමැත්තෙන් හිටියේ දුවගේ ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනකල්. ඒත් ඉතින් එයා අරගෙන ආ ආයුෂ එච්චර තමයි. මගේ දුව නිසා තවත් හත් දෙනෙක් ජීවත් වෙලා ඉන්න එක අපිට සතුටක්. ඒ පිනම ඇති මගේ බට්ටි දුවට මතු සංසාරයේදී මේ වගේ හදිසි විපතක් නොවෙන්න. අනේ එයා මේ හැම දෙයක්ම බලාගෙන සතුටින් ඇති කියලා මම හිතනවා. දුව ගොඩක් පින්කම් කරන්න කැමැතියි. එයා නැති වෙන්න කලින් සඳහිරු සෑයේ පින්කමකටත් එකතු වෙලා තමයි ආවේ.”
මව වසන්ති කුමාරි (54) මහත්මිය ද මෙලෙස පැවැසුවාය.
“අනෙක් අම්මලා වගේම තමයි මමත් දුව විභාග ප්‍රතිඵල අරගෙන ගෙදර ආවාම දුවගේ ඒ සුදු මුහුණ ඉඹලා දුවව බදාගන්න හිතාගෙන හිටියේ. අනෙක් දුවලගේ අම්මලා ඒ සතුට සමරන කොට මට දරාගන්න බැරි වුණත් මගේ දුව කර ගත් පින් කඳ මතක් වෙන කොට මම කොහොම හරි දුක වාවා ගන්න බලනවා. දුව හැම වෙලාවේම කිව්වේ මම පේරාදෙණියේ කැම්පස් ගිහින් ඊට පස්සේ බැංකුවක හොඳ ජොබ් එකක් කරලා අම්මයි තාත්තයි අයියයි අක්කවයි සතුටින් තියනවා කියලා. දුවගේ ප්‍රතිඵල දැන ගත් ගමන්ම එයාගේ අවයව නිසා අද ජීවත්වන අය කතා කරලා එයාගේ ප්‍රතිඵලය ගැන සතුට පළ කළා. ඉතින් ඒ අයත් කිව්වේ අපි අද ඉන්නේ ඔයාගේ කරුණාවත්ත දුව නිසා තමයි කියලා. එයාගේ පන්ති භාර ගුරුතුමියත් කතා කළා. යාළුවො හැම දෙනාම කතා කළා.
සමහර අය ගෙදර ආවා. ඉතින් මගේ දුක නැති කරන්න එයාලා බොහෝ දේ කිව්වා. අනේ ඉතින් මට මොනව ලැබුණත් මොකටද මගේ රත්තරන් දුව නැතිව. එයාගේ අයියයි අක්කයි කියන්නෙත් අපේ නංගි හිටියා නම් අද අපි හොඳ පාටියක් දානවා කියලා. මොකද මගේ දුවට හොඳට උයන්නත් පුළුවන්. එයා ඒ වගේම තමයි සතුන්ටත් හරිම කරුණාවන්තයි. ඉතින් එයා කර ගත් ඒ මහා පින් කන්දරාව නිසා එයා ප්‍රාර්ථනා කළ ලෝකයක සතුටින් ඇති කියලා මම හිතනවා.”
විහඟනා සිසුවිය ඇයගේ ශරීර අවයව කැමැත්තෙන් දන්දී තිබූ අතර, ඇයගෙන් ගත් හදවත සහ පෙණහලු රෝගියකුට බද්ධ කෙරිණි. මේ අවයව දෙකම බද්ධ කළේ හෘදය සහ පෙණහලු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයක පසුවූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීම ද විශේෂත්වයකි. මීට පෙර සිදු කර තිබුණේ එම අවයව වෙන වෙනම බද්ධ කිරීම වුවත් එකවර එවැනි අවයව බද්ධ කිරීමේ සැත්කමක් මෙරටේදී සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
මීට අමතරව ඇයගෙන් ගත් වකුගඩු දෙක ද අසාධ්‍ය රෝගීන් දෙදෙනකුට සාර්ථකව බද්ධ කර තිබූ අතර, එයින් එක් වකුගඩුවක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට සාර්ථකව බද්ධ කර තිබිණි. ඇයගෙන් ගත් අක්මාව සහ අක්ෂි පටල ද තවත් පුද්ගලයන් තිදෙනකුට නීරෝගි ජීවිතයක් දී ඇත. මේ අනුව විහඟනාගේ සිරුරෙන් ගන්නා ලද අවයව කොටස් 5කින් පුද්ගලයන් හත් දෙනකුටම නැවත ජීවය ලැබී තිබීම ද විශේෂත්වයකි.