වාණිජ
අනාගත බලාපොරොත්තුව ව්‍යවසායිකාවක් වෙන්න
– කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකවේ ආර්. ඒ. මිනුලි රාජපක්ෂ
මෙවර උසස් පෙළ විභාගයෙන් A සාමර්ථ්‍ය තුනක් ලබා කෑගල්ල දිස්ත්‍රික්කයේ වාණිජ අංශයේ ප්‍රථම ස්ථානය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්. ඒ. මිනුලි රාජපක්ෂ ශිෂ්‍යයාව විසින් හිමි කර ගෙන ඇතැයි විදුහල්පතිනි ගංගානී තිලකරත්න මැණිකේ මහත්මිය පැවැසුවාය.
මිනුලිගේ පියා ආර්. ඒ. මංජුල රාජපක්ෂ වන අතර, ඔහු ව්‍යාපාරිකයෙකි. මව එල්. ආර්. එස්. යූ. මැණිකේ වන අතර, ඇය කෑගල්ල බෙලිගල බෝධිරාජ මහා විද්‍යාලයේ ආචාර්යවරියකි. එකම බාල සහෝදරයා ආර්. ඒ. මෙවිනු රාජපක්ෂ, මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, මෙවර පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටී.
මිනුලි පළමු ශ්‍රේණියේ සිට තුන් වන ශ්‍රේණිය දක්වා තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයට ඇතුළත් වී තිබේ. 2013 වර්ෂයේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 179ක් හිමි කරගෙන සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිට විෂයයන් නවයට ඒ සමාර්ථ්‍යය 9ක් ගැනීමට මිනුලි සමත් වූවාය. පසුව උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය යන විෂයයන් හැදෑරූ මිනුලිට කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයත්, දිවයිනෙන්ම 26 වැනි ස්ථානයත් හිමිව තිබේ.
මිනුලි සිය ජයග්‍රහණය පිළිබඳ මෙසේ පැවැසුවාය.
“මම විද්‍යාලයේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස දීර්ඝ කාලයක් හිටියා. බටහිර සමූහ වාදන තරගවලින් හා නර්තන තරගවලින් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා තිබෙනවා. මම අමතර පන්තිවලටත් ගියා. මට ඉගෙන ගන්න හොඳටම නිදහස ගෙදර තිබුණා. මම බලාපොරොත්තුවෙන් හිටියා, කෑගල්ල දිස්ත්‍රික්කයේ දස දෙනා අතරට එයි කියලා. ඇත්තටම මට දැන් ගොඩක් සතුටුයි, කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලැබීම පිළිබඳව. මගේ පාසලේ විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය, අමතර පන්තිවල ගුරුවරුන්, මගේ මවුපියන් මගේ ජයග්‍රහණය වෙනුවෙන් මහන්සියෙන් කටයුතු කළා. මගේ අනාගත බලාපොරොත්තුව ව්‍යවසායිකාවක් වෙන්න.”
———————————————————————————————————————————
ජීව විද්‍යා
අපේ පාසලට රසායන විද්‍යාව ගුරුවරයෙක් හිටියා නම් මම වගේ තවත් දක්ෂයන් බිහි වෙනවා
– තණමල්විල ජාතික පාසලේ හසිත මධුරංග
උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් A සාමර්ථ්‍ය තුනක් ලබා මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වීමට තණමල්විල අධ්‍යාපන කලාපයට අයත් තණමල්විල ජාතික පාසලේ හසිත මධුරංග ගරුසිංහ ශිෂ්‍යයා සමත්ව තිබේ.
වැල්ලවාය ඌව කුඩාඔය පදිංචි හසිතගේ මවුපියන් ගොවිතැන් කටයුතුවල නිරත වන අතර, හසිත පවුලේ වැඩිමහල් දරුවාය.
හසිත තමා ලැබූ මේ ජයග්‍රහණය ගැන මෙලෙස අදහස් දැක්වීය.
“මට ලැබුණු මේ ජයග්‍රහණ ගැන ගොඩක් සතුටුයි . පාසලේ මට ඉගැන්වීම් කටයුතු කළ අනුෂා ප්‍රියංගනී, රසිකා සංජීවනී ගුරුතුමියන්ලා දෙපළට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම විදුහල්පති එස්. එල්. ඒ. සිරිරතන මහතාත්, නියෝජ්‍ය විදුහල්පති ගයනි ආරියතිලක මහත්මියත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. මෙත්මා ජයසේකර සර්, ඩිලාන් මාභරණ සර්, එච්. ආර්. ඉන්දික සර් මේ වෙලාවේ මතක් කළ යුතුමයි. ඒ ගුරු මහත්වරුන්ටත් විශේෂයෙන්ම මම ස්තූතිවන්ත වෙනවා.
අපේ පාසලේ රසායන විද්‍යා ගුරුවරයෙක් නෑ ඒ නිසා විද්‍යාව සහ ගණිත අංශයෙන් ඉගෙන ගන්න අපේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් අදිමදි කරනවා. ගුරුවරයෙක් නැති නිසා අසරණ වෙනවා. ඒක නිසා වගකිවයුතු අධ්‍යාපන අංශයේ නිලධාරී මහත්වරුන් මැදිහත්වෙලා අපේ පාසලට රසායන විද්‍යා ගුරුවරයෙක් දෙනවා නම් ගොඩක් වටිනවා. එහෙම වුණා නම් තවත් මම වගේ දක්ෂයන් මේ පාසලෙන් බිහි වෙනවා. මගේ බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙලා රටට, සමාජයට යහපත් සේවයක් කිරීමයි.”
මේ අතර ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානය ද තණමල්විල අධ්‍යාපන කලාපයට අයත් කතරගම ජාතික පාසලේ ඉගෙනුම ලැබු බී. ජී. දිනිති නිමේෂා සිසුවිය විසින් හිමිකරගෙන තිබේ .
———————————————————————————————————————————ඉංජිනේරු තාක්ෂණවේදය
ෂෙහාන් සහභාගි වුණේ පාසලේ තිබූ පන්තිවලට විතරමයි
– පැරකුම්පුර ජාතික පාසලේ විදුහල්පති රාජාංගණයේ රතනවංශ නාහිමි
කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික් මායිම් අතරේ අතිදුෂ්කර රාජාංගණය, වම් ඉවුර, යාය 03, පැරකුම්පුර ජාතික පාසලේ ෂෙහාන් ශ්‍රී ආරියරත්න සිසුවා ඉංජිනේරු තාක්ෂණ විෂයෙන් උසස් පෙළට පෙනී සිට A සාමර්ථ්‍ය තුනක් ලබා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයටත්, දිවයිනෙන්ම තෙවැනි ස්ථානයටත් පත්ව ඇතැයි විදුහල්පති රාජාංගණයේ රතනවංශ නාහිමියෝ පැවැසූහ.
සිසුවා ලැබූ මේ ජයග්‍රහණය ගැන රතනවංශ නාහිමියෝ මෙසේ ද අදහස් දැක්වූහ.
“අද රට වටේ පන්ති කියලා උතුරේ ඉඳලා දකුණට තරුණ දූ පුතුන් රැල්ලට මෙන් ටියුෂන් කඩ හොයාගෙන යනවා. ඒත් අපේ පාසලේ මේ ෂෙහාන් පුතා බණ්ඩාර පුෂ්පකුමාර ගුරුතුමා ඉගැන්වූ ඉංජිනේරු තාක්ෂණය, ඩිලාන් හේමචන්ද්‍ර ගුරුතුමා ඉගැන්වූ තොරතුරු තාක්ෂණය සහ අජන්තා කුමාරි ගුරුතුමිය ඉගැන්වූ තාක්ෂණ විද්‍යාව විෂයයන්වලට ගියේ පාසලේ තිබූ පන්තිවලට විතරයි.
වෙනත් කිසිදු බාහිර පන්තියකට ගියේම නෑ. දුෂ්කර පාසලකින් අධ්‍යාපනය හදාරා ඔහු ලද ජයග්‍රහණයේ විශිෂ්ටත්වය එතැනයි. ඒක අනෙක් දරු දැරියන්ටත් ආදර්ශයක්. ෂෙහාන් පුතුගේ සරසවි ගමනට සහ අනාගතයට විදුහල්පති හැටියට මමත්, අපේ සියලු ආචාර්ය මණ්ඩලයත් හදවතින්ම සුබ පතනවා.”
———————————————————————————————————————————
ඉංජිනේරු තාක්ෂණවේදය
තොරතුරු තාක්ෂණය පැත්තෙන් ඉදිරියට යනවා
– මොනරාගල රාජකීය විද්‍යාලයේ ආර්. එම්. උදීෂ ජයේන්ද්‍ර
මොනරාගල රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළට ඉංජිනේරු තාක්ෂණ අංශයෙන් පෙනී සිට A සාමර්ථ්‍ය තුනක් ලබා ආර්. එම්. උදීෂ ජයේන්ද්‍ර සිසුවා මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්ව තිබේ.
සියඹලාණ්ඩුව, 3 පියවර විද්‍යාලයෙන් මූලික අධ්‍යපනය ලැබූ උදීෂ ශිෂ්‍යත්ව විභාගය සමත්ව මොනරාගල රාජකීය විද්‍යාලයට ඇත්ළත්ව තිබේ.
උදීෂගේ මව පවුල් සෞඛ්‍ය සේවිකාවක් වන අතර, පියා ගොවිතැන් කටයුතුවල නිතර වේ. පවුලේ දෙවැනි දරුවා වූ උදීෂ පාසලේ ගුරු සිසු කාගේත් ආදරය දිනාගත් සිසුවෙකි.
තමන් ලැබූ ජයග්‍රහණ ගැන උදීෂ මෙසේ කීවේය.
“මට ගොඩක් සතුටුයි. මේ ජයග්‍රහණය ගැන හිතාගන්නත් බැරි වුණා. විභාගය සමත් වෙනවා කියලා ලොකු විශ්වාසයක් තිබුණා. ඒත් මේ විදිහට දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා වෙයි කියලා නම් හිතුවේ නෑ. ප්‍රියන්ත අත්තනායක සර්ට, නයනජිත් සමන් කුමාර සර්ට, පී. ඒ. ඒකනායක සර්ට, උදිත මධුසංඛ සර්ට, ඉෂංක ශ්‍යමල් සර්ට, මහේෂ බුද්ධික සර්ට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. විද්‍යාලයේ විදුහල්පති චමින්ද දේශප්‍රිය අත්තනායක සර්වත් මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා.
මම හොඳින් පාඩම් කළා. නිදාගත්තේ පැය පහක් විතර. විභාග ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක් කළා. පාසල් ආවා. උපකාරක පන්තිවලටත් සහභාගි වුණා. මම තොරතුරු තාක්ෂණය පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරෙත්තු වෙනවා.”
ඉංජිනේරු තාක්ෂණ පීඨයේ අංශ ප්‍රධානී ප්‍රියන්ත අත්තනයක මහතා උදීෂගේ ජයග්‍රහණය ගැන මෙසේ කියා සිටියේය.
“විදුහල්පතිතුමා උදීෂව විශේෂ ඇගයීමකට ලක් කළා. අපේ පාසලට මේ ජයග්‍රහණය විශාල ගෞරවයක්. ආඩම්බරයක්. මීට පෙර ඉංජිනේරු තාක්ෂණ විෂයෙන් 2018 වසරේ දෙවන ස්ථානය අපේ පාසලට ලැබුණා. උදීෂ පාසලේ සිටින නිහඬ වගේම නිහතමානී දරුවෙක්. තමන්ට පැවරෙන ඕනෑම වගකීමක් හරියට ඉටු කළ දරුවෙක්. උදීෂට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත් හොඳින් තිබුණා. මේ දරුවා තමන්ගේ අධ්‍යපන කටයුතු ඉතාමත් හොඳින් කළා.”
———————————————————————————————————————————
ජෛව පද්ධති තාක්ෂණවේදය
මගේ එකම බලාපොරොත්තුව උසස් රැකියාවක් කර රටට සේවය කිරීමයි
– මාතලේ විද්‍යා විද්‍යාලයේ හසිරු සඳරුවන්
උසස් පෙළ විභාගයෙන් මාතලේ විද්‍යා විද්‍යාලයේ හසිරු සඳරුවන් කැලුම් සිසුවා ජෛව පද්ධති තාක්ෂණවේදය අංශයෙන් A සාමර්ථ්‍ය තුනක් ලබා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්ව තිබේ.
තමා ලැබූ මේ ජයග්‍රහණය ගැන හසිරු මෙලෙස අදහස් දැක්වීය.
“මගේ එකම බලාපොරොත්තුව මේ අංශයෙන් ඉගෙනීම ප්‍රගුණ කර උසස් රැකියාවකට යොමුව රටට සේවයක් කිරීමයි.
මෙවැනි ජයග්‍රහණයක් ලැබීමට මට සහාය දුන් විදුහල්පතිතුමිය සහ විෂයයන්ට ඉගැන්වීම් කළ ගුරු මෑණිවරුන්ටත්, සමස්ත ගුරු මණ්ඩලයටත්, මගේ මවුපියන්ටත්, සහෝදර සහෝදරියන්ටත් ස්තූතිවන්ත වෙනවා. නංගිලා මල්ලිලාට ඉතාම ආදරයෙන් කියන්නේ ඉගෙනීමට මුල්තැනදී ඉලක්කයක් ඇතිව අධිෂ්ඨානයෙන් වැඩ කරන්න කියලයි.”