Home » මත් උවදුර මුලිනුපුටා දැමිය යුතුයි මත්ද්‍රව්‍ය පාලනයට අදාළ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයි

මත් උවදුර මුලිනුපුටා දැමිය යුතුයි මත්ද්‍රව්‍ය පාලනයට අදාළ රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයි

නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න - විශේෂ කාරක සභාවේ මන්ත්‍රීවරු කියති

by mahesh
September 6, 2023 1:00 am 0 comment

මත්ද්‍රව්‍ය පාලනයට අදාළව රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයක් දක්නට ලැබෙන බව මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මන්ත්‍රීවරු කාරක සභාව වෙත පැමිණ සිටි නිලධාරින්ගෙන් විමසීම් සිදු කර ඇත.

මත්ද්‍රව්‍යවලට අදාළ රස පරීක්ෂක වාර්තා ලබා දීම සඳහා පසුගිය කාලයේදී මාස 9 පමණ කාලයක් ගත වූ බවත් වර්තමානයේ මාස 3 පමණ කාලයක් දක්වා අඩුකර ගැනීමට හැකිව ඇති බවත් පැමිණ සිටි නිලධාරින් විසින් අනාවරණය කර ඇත.

එමෙන්ම මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කිරීමේ වර්තමාන කටයුතු පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා විය.මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ එම කාරක සභාව ඇමැති ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා පත්කොට ඇති ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා කමිටුව අමතමින් සඳහන් කළේ, මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් කල්පිටිය ප්‍රදේශයේ ඉදිකරන බවත් මේ සඳහා ජලය, විදුලිය සහ මාර්ග පහසුකම් ලබා ගැනීමට මෙම කමිටුව මැදිහත් වන්නේ නම් මෙම වසර අවසානයේ මෙම මධ්‍යස්ථානය සකස් කොට අවසන් කළ හැකි බවයි. මේ අනුව මේ සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බව කාරක සභාවේ සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේය.

මෙම කාරක සභාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ, බන්ධනාගාර හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, තැපැල් දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව කැඳවා තිබූ අතර මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මෙම අංශ ගෙන ඇති පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය.

එසේම රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම පිළිබඳවද මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විමසා සිටි අතර නිලධාරීන් සඳහන් කළේ පසුගිය කාලයේ මේ සඳහා මාස 9 පමණ කාලයක් ගත වූ බවත් වර්තමානයේ මාස 3 පමණ කාලයක් ගත වන බවත්ය. නිලධාරීන්ගේ හිඟය මේ සඳහා බලපා ඇති බවත් ඒ අනුව අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ.

එමෙන්ම ඊසි කෑෂ් (ez cash) මඟින් සිදු වන මුදල් ගනුදෙනු මඟින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සිදු වන බවත් මේ වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

එසේම මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ කටයුත්තට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේද සහාය ලබාගන්නා ලෙස රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කළේය.

තවද තැපැල් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව, පාසැල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ මුහුදු මාර්ග හරහා මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT