Home » අපේ සරසවිවල ජාත්‍යන්තර පිළිගැනීම පහතට වැටෙන අවදානමක
ආචාර්යවරුන් රට හැර යෑමෙන්

අපේ සරසවිවල ජාත්‍යන්තර පිළිගැනීම පහතට වැටෙන අවදානමක

ආචාර්යවරුන්ගේ සංගමය

by mahesh
September 6, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

විශ්වවිද්‍යාල ආචාර්යවරු රට හැරයෑමත් සමඟ විශ්වවිද්‍යාලවල සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවට සරිලන ආචාර්යවරු සංඛ්‍යාව අඩු වීම නිසා මෙරට විශ්වවිද්‍යාල ජත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලදී පහතට ඇදවැටීමේ බරපතළ අවදානමක් ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක සිසුන් 10 දෙනකුට එක් ආචාර්යවරයකු ලෙස ලෝකය පිළිගත් අනුපාතයක් තිබෙන නමුත් ශ්‍රී ලංකාවේ මෙම අගය මේ වන විට සිසුන් 60කට එක් ආචාර්යවරයකු දක්වා පහත වැටී ඇතැයි ද එම සංගමය හෙළි කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පෙරේදා (04) පැවැති මාධ්‍ය හමුවකදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයන් මෙම තොරතුරු අනාවරණය කළේය.

මෙම වසරේ මුල් මාස හයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරු 600 දෙනකු පමණ රට හැර ගොස් තිබෙන බවත් තවත් පිරිසක් නුදුරු අනාගයේදීම රටින් පිටවීමේ සූදානමින් සිටින බවත් එම සම්මේලනයේ හිටපු සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා කීය.

රජය හඳුන්වා දුන් බදු ක්‍රමය හේතුවෙන් පීඩාවට පත් විශ්වවිද්‍යාල ආචාර්යවරු පසුගිය මාර්තු මාසයේදී වෘත්තීය අරගලයක් ආරම්භ කළ බවත් බදු අය කිරීමේදී යම් සහනයක් දෙන බවට රජයේ නියෝජිතයන් ලබාදුන් පොරොන්දුව මත එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවූ බවත් කී ඒ මහතා එදා සිට මේ දක්වා කිසිවකුත් අදාළ ප්‍රශ්නයට විසඳුමක් දී නැතැයි ද ප්‍රකාශ කළේය.

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්ය හිඟයට පිළියමක් ලෙස අලුතින් 1024 දෙනකු බඳවාගැනීමට කටයුතු කරන්නේ යැයි අධ්‍යාපන ඇමැතිවරයා පැවසුවත් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකු සතු පරිණතභාවය ලැබීමට හෝ ඒ තත්ත්වයට පැමිණීමට ඔවුන්ට අවම තරමින් වසර 10ක් පමණවත් ගතවනු ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පේරාදෙණිය ශාඛාවේ සභාපති ආචාර්ය රුචික ප්‍රනාන්දු මහතා කතා කරමින් වර්ෂ 2023 ජූලි මාසය වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 15,000ක් අධ්‍යාපනය ලබමින් සිටි බවත් මෙම සිසු සංඛ්‍යාවට ගැළපෙන ලෙස ආචාර්යවරු 1400ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 800ක් පමණක් බවත් කීය.

මෙම තත්ත්වය නිසා ඉදිරියේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් පහළට ඇද වැටීමේ අවදානමක් ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන මහතා කතා කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දත්ත අනුව මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරු 12,000ක් සිටිය යුතු වුවත් මේ වන විට එය 6000ත් – 7000ත් අතර අගයක් දක්වා පහත බැස තිබෙන බවත් කීය.

ආචාර්යවරු රට හැර යෑමට අමතරව රජය නව බඳවා ගැනීම් සිදු නොකිරීම ද මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ඒ මහතා පැවසුවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT