බීමතින් හා රියැදුරු බලපත්‍රයක් නොමැතිව මගීන් සහිතව බස් රථයක් පැදවූ රියැදුරෙකුව අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය පවසයි.
ඉකුත් 04 වැනිදා කොළඹ සිට රාගම දක්වා ගමන් ගත් බස් රථයක් මහා මාර්ගයේ මගීන්ට අනතුරක් විය හැකි අයුරින් අනාරක්ෂිතව ධාවනය කරන අයුරු නිරීක්ෂණය කළ මහබාගේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රමේෂ් ප්‍රනාන්දු මහතා බසය නවත්වා රියැදුරුව පරීක්ෂාවට ලක් කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ රියැදුරු අධික ලෙස මත්පැන් පානය කරමින් බස් රථය ධාවනය කර ඇති බවයි. එසේම රියැදුරුට බස් රථය පැදවීමට රියැදුරු බලපත්‍රයක් ද තිබී නොමැත. අත්අඩංගුවට ගත් රියැදුරු වත්තල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් මස 18 වැනිදා දක්වා බන්ධනාගාරගත කර තිබේ.
රියැදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට බස් රථයක් ධාවනය කිරීම සඳහා ලබාදුන් බස් රථයේ හිමිකරුට ද ඉදිරියේදී නඩු පැවරීමට ක්‍රියා කරන බව පොලිසිය පැවසුවේය.