Home » කුරුණෑගල නගරයේ ආරක්ෂාවට සීසීටීවී කැමරා පද්ධතියක්

කුරුණෑගල නගරයේ ආරක්ෂාවට සීසීටීවී කැමරා පද්ධතියක්

by mahesh
September 6, 2023 1:00 am 0 comment

කුරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න

කුරුණෑගල නගරයේ ආරක්ෂාව වෙනුවෙන් නගරය මෙන්ම නගරයට ආසන්න ප්‍රදේශ ගණනාවක්ම ආවරණය වන ආකාරයට සවි කළ සුවිශේෂී කැමරා 56 කින් සමන්විත සීසීටීවී කැමරා පද්ධතියක් ක්‍රියාත්මක බව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

කුරුණෑගල ඔරලෝසු කණුව මංසන්ධිය, නාවින්න මංසන්ධිය, කදුරුගස්හන්දිය, කුරුණෑගල ශික්ෂණ රෝහල අසල හන්දිය, වැහැර හන්දිය, මල්කඩුවාව ඩයස් වංගුව, පුත්තලම හන්දිය, යන්තම්පළාව මංසන්ධිය, නුවර පාරේ ඉම්පීරියල් හන්දිය, මුත්තෙට්ටුගල මංසන්ධිය, ගැට්ටුවාන මංසන්ධිය, දඹුල්ල මාර්ගයේ මැලේ මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට, කතරගම කෝවිල මංසන්ධිය, වැව රවුම හරහා කුඩා ගල්ගමුව මාර්ගයේ දිය සහරා හෝටලය අසල මංසන්ධිය, කච්චේරිය හන්දිය යන කාර්යබහුල ස්ථාන අසල මෙම කැමරා පද්ධති සවිකර ඇත.

පොලිසියේ ඉල්ලීමකට අනුව අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයාව සිටියදී මෙම කැමරා පද්ධතිය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර දී ඇත.

මෙය නවීන තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියක් වන අතර කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ පිහිටුවා ඇති සීසීටීවී කැමරා පද්ධති ඒකකයේ නිලධාරීහු පිරිසක් විසින් එහි සවිකර ඇති පුළුල් දර්ශන තිර මඟින් පැය විසිහතර පුරාම නිරීක්ෂණය කරමින් සිටිති.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව පොලිස් පරීක්ෂක එම්.කේ.එස්. වේරකේ මහතා මෙම ඒකකයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරයි.

මෙම කැමරා පද්ධතිය මඟින් ඉතාමත්ම පැහැදිලි දසුන් ලබා දෙන බවද ඒ අනුව මේවනවිට විවිධ අපරාධ, රිය අනතුරු සහ විවිධ ගණයේ අපරාධ රැසක් මෙම කැමරා දර්ශන මාර්ගයෙන් අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙන බවද පොලිස් පරීක්ෂක වේරකේ මහතා සඳහන් කළේය. ඒ අනුව අපරාධ සහ අනතුරු සිදු කර පලාගිය සැකකරුවන් බොහෝ දෙනකුද විමර්ශන සිදු කර අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම යතුරුපැදි සොරුන් සහ මාල කඩන්නන් රැසක් මෙහි දර්ශන මාර්ගයෙන් ඉතා කෙටි කාලයකදී අත්අඩංගුවට ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

අපරාධ සහ අනතුරු සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය සීසීටීවී කැමරා දර්ශන ලබා දීමද මෙම ඒකකය මඟින් සිදු කරන බවද වේරකේ මහතා පැවසීය.

වැඩි දෙනකු මෙම කැමරා පද්ධතිය පිළිබඳව නොදැන විවිධ අපරාධ සඳහා යොමු වන බව පැවසූ පොලිස් පරීක්ෂක වේරකේ මහතා දැන් එවැනි අපරාධ සිදු කර සැඟවී පලායාමට මෙම කැමරා පද්ධතිය කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවද ප්‍රකාශ කළේය.

කුරුණෑගල දඹුල්ල මාර්ගයේ මැලේ මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට සවි කර ඇති සීසීටීවී කැමරා පද්ධතිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT