ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට නාමයෝජනා ලබාදී සිටි අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතාගේ හා උප සභාපති තනතුරට නාමයෝජනා දුන් ටී.එල්. උඩුවර (වත්තල ලීගය), විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නිහාල් පෙරේරා (වත්තල ලීගය) හා විධායක සභාවේ කාන්තා නියෝජනයට ඉදිරිපත් වූ හේෂිණී ආරියරත්න (දෙනියාය ලීගය) යන මහත්ම මහත්මීන්ගේ නාමයෝජනා පාපන්දු නිලවරණයෙන් දෙවැනි වරටත් ප්‍රතික්ෂේප වෙයි.
පාපන්දු ව්‍යවස්ථාවේ සඳහන් පරිදි අනුබද්ධිත පාපන්දු ලීඟවල වසර 4ක ක්‍රියාකාරීත්වයක් නොමැති බව තහවුරුවීමෙන් දක්ෂිත පාර්ශ්වයේ නාමයෝජනා 5ක් කලින් ප්‍රතික්ෂේපවී තිබූ අතර, ඒ සම්බන්ධ අභියාචනා පරික්ෂා කිරීමේදී එම පාර්ශ්වයෙන් විධායක සභික තනතුරට ඉදිරිපත් වූ නාලක දිසානායක (ශ්‍රී ලංකා පාසල්) මහතාට පමණක් නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව ලබාදී ඇත.
නාමයෝජනා පත්‍ර සම්බන්ධයෙන් අවසන් තීරණය ප්‍රකාශ කළ අභියාචනා කමිටුව දක්ෂිත මහතාගේ කණ්ඩායමේ ඉතිරි නාමයෝජනා 9කට පමණක් පාපන්දු නිලවරණයේ තරග කිරීමට අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව මේ 29 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණයේදී ජස්වර් උමර් මහතාගේ කණ්ඩායමේ 13ක් හා ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ 9ක් අතර සටනක් නිර්මාණයවී තිබේ.
හිටපු සභාපති ජස්වර් උමර් මහතාගේ නාමයෝජනා 13ටම දක්ෂිත පාර්ශ්වයෙන් විරෝධතා ඉදිරිපත් කර තිබූ අතර, එම විරෝධතා සියල්ල අභියාචනා කමිටුව ප්‍රතික්ෂේප කළේය. සභාපති තනතුරට නාමයෝජනා දී සිටි ජස්වර් උමර් මහතාගේ පාර්ශ්වයෙන් දක්ෂිත මහතාගේ කණ්ඩායමේ කිසිවකුට හෝ විරෝධතා ඉදිරිපත් කර නොතිබීම විශේෂත්වයකි.