– අත එක රෝහලක
– රෝගියා තව රෝහලක
බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ ඔත්තේකඩේ ප්‍රදේශයේ දී පෙරේදා (06) පස්වරු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පස් කණ්ඩියක ගැටීමෙන් අනතුරට ලක්වීමෙන් එම රථයේ රියැදුරුගේ එක් අතක් ශරීරයෙන් වෙන්ව ගොස් ඔහුට බරපතළ තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසයි. කොළඹ සිට බණ්ඩාරවෙලට භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර තුවාල ලත් රියැදුරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය පවසයි.
බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ බණ්ඩාරවෙල දෙසට ගමන් ගනිමින් තිබූ ලොරි රථයේ තිරිංග එක්වරම ක්‍රියා විරහිත වීමෙන් පසු රථය මාර්ගයේ එක්පසක තිබු පස් කණ්ඩියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. ලොරි රථයේ රියැදුරු අසුනේ සිරවී සිටි රියැදුරු ප්‍රදේශවාසින් විසින් මහත් පරිශ්‍රමයක් දරා එළියට ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබේ.
මෙහිදී තුවාල ලත් රියැදුරු බණ්ඩාරවෙල රෝහලට රැගෙන යන බව අසල සිටි පිරිස පැවසීමත් සමඟ එම ස්ථානයේ සිටි ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් ශරීරයෙන් වෙන්වුණ රියැදුරුගේ අත ද රැගෙන බණ්ඩාරවෙල දිසා රෝහලට ගොස් ඇත.
පසුව මෙම ත්‍රිරෝද රථ රියැදුරු තුවාලකරු බණ්ඩාරවෙල රෝහලට රැගෙන නොගොස් දියතලාව මූලික රෝහලට රැගෙන ගිය බව දැන ගැනීමට ලැබීමෙන් පසුව ඔහු විසින් එම අතද රැගෙන නැවත දියතලාව රෝහලට ගොස් සිදුවූ සිදුවීම පැහැදිලි කර ඇත. අත කොටස රෝහල් කාර්ය මණ්ඩලයට භාරදීමට කටයුතු කර ඇත.
ඒ අනුව අදාළ රෝගියාගේ වෙන්ව තිබූ අතේ කොටස සමඟ බදුල්ල ශික්ෂණ රෝහලට එම අවස්ථාවේදිම මාරුකර යැවීමට දියතලාව රොහලේ වෛද්‍යවරුන් කටයුතු කළ බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.
මෙලෙස රැගෙන ආ රෝගියාගේ අතේ කොටස පරීක්ෂා කිරීමේදී නැවත ශරීරයට බද්ධ කළ නොහැකි මට්ටමට විනාශවී තිබූ බැවින් එය තුවාලකරුට බද්ධ කිරීමට නොහැකි වූ බව බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් පැවසීය. එම අනතුරින් ලොරි රථයේ රිය සහයකයාද සුළු තුවාල ලබා ඇති බවත් මෙම අනතුර පිළිබඳව බණ්ඩාරවෙල රථවාහන පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවද පොලිසිය පැවසීය.