බඹරය මෛත්‍රීපාලටම කැරකී ඇවිත් තිබේ. දේශපාලන චපලත්වයේ අනඟි සලකුණ වන්නේ මෛත්‍රීය. එතරම් අවස්ථාවාදී ආකාරයෙන් කටයුතු කළ අයෙක් මරදානේ වීදි ළඳුන් අතරේවත් හමු වන්නේ නැත. සිය ඇඟ ඉල්ලන ඉල්ලන එකාට රිසි පරිදි ඇය පිරිනමන්නේ, ජීවිකාව උදෙසාය. ඒ මිස අන් ප්‍රතිපත්තියක් ඇයට නැත. මෛත්‍රීගේ දේශපාලනය තරමේ ‘මරදානට බැස්ස’ පොලිටික්ස් මොඩලයක් මේ කපේදී හමුවන්නේ නැත.
සියල්ල නිමවී, තාත්තා මල්ලක් අරං, ජනාධිපති තනතුර අහෝසි කර පොලොන්නරුවේ යනු ඇතැයි අනාවැකි කියමින් දුව පොතක් ලිව්ව ද, දැන් තාත්තාගේ වැඩේ ඩාලි පාරේ ඔට්ටු සෙල්ලම් කිරීමය. ඒ කාලේ දුන්න ලොරි ටෝක්වල හැටියට අප හිතුවේ මේ වෙලාව වෙනකොට, පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත්තේ, කහට කෝප්පයක් සප්පායම් වෙමින් මෛත්‍රීපාල ගමේ වුන් එක්ක අතීතය ස්මරණය කරනවා ඇත කියාය.
දයාසිරි ද ඒකනායක ද සාරතීද යන්න පක්ෂය බලා ගත යුතු වැඩකි. එහෙම වුණාට මේ ගාණට සෙල්ලම් දම දමා ඉන්න කෙනා කවුදැයි දැන්වත් මේ රටේ මිනිස්සු බරට අරගත යුතුය. නිදහසින් පසු මෙතෙක් ආ දුර්වලම නායකයා සේම, ව්‍යාධි රාශියක් සඳහා පාර කපා, අධිකරණයෙන් දඩ ද කා සිටිනා අයෙක් තාමත් මට්ටු නොවී දොඩ දොඩා යන්නේ නම්, එතැන ඇත්තේ අනෙක් පාර්ශ්වයේ වරදකි.
මහාචාර්ය සුනිල් ආරියරත්න සිය නවතම පර්යේෂණ ග්‍රන්ථය වන ‘වණ්ණම් විනිස’ හි, හනුමා වන්නම සටහන් කර තිබේ. අර චරිතය එතැනට ගළපා මේ කවි දෙක කියවා බැලූ කල්හි මේ වන්නමේ නම අලුත් කළ හැක්කේය.
ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා
පුබුදමින් අරුණ කළ මා
ගොර දෙමින් නැවත වටපිටින් බලති
නෙක උසුළු විසුළු පුදුමා
එයින් නැවත පලතුරින් තුරට පැන
මලින් පලද දලු මා –
අත දෙමින් රැගෙන කට කොනින් බුදිති
වට පිටින් බියති බැලු මා
මෛත්‍රීපාල තෙමේ ජනාධිපති පුටුවට පත්වූ වහාම සිදු කළේ රට ගොඩනැඟීම සඳහා වන වැඩපිළිවෙළ සකසමින් දින සියයේ පොත දිනෙන් දින ක්‍රියාත්මක කිරීම නොවේ. වහ වහා දුවගොස්, හංසයා ලකුණෙන් තමන් බලයට පත් කළ කාණ්ඩයට; ‘කොකා’ පෙන්වීමය. මේ ආකාරයට කොක්කු වැලක් රටට පෙන්වා සහරාන් ලවා තමන්ට ද කොකා ගස්සවා ගත් හේ, අද දඩ ගෙවන්නේ කොටස් වශයෙනි. කොටස් කිරීම ද කොටස් වශයෙන් ගෙවීම සේම මෛත්‍රීපාල මහතා ආසා දෙයකි. පළමුව තමන් ලේකම් වූ පක්ෂය කොටස් කර, අනික් පැත්තට පැන්නේය. ඊළඟට තමන් ජයග්‍රහණය කළ හංස සන්ධානය කොටස් කර, ශ්‍රීලනිප නායක විය. මහ මැතිවරණයට එජනිසයෙන් ඉල්ලන බව කියමින්, අවසාන දිනයන්හි ලේකම්වරු මාරු කරමින් වියරු විය. ඊළඟට අතරමඟදී එජාපය සමඟ වලි දා ගත්තේය. පොළොවෙන් අඩි හතරක් යට තමන්ව වළ දැමීම සඳහා සූදානම් කියමින් සිටි මහින්ද රාජපක්ෂව හිටි හැටියේ අගමැති කර, තමන් බලයට ගෙනා එජාපයට අම්මාමෝ නැතිව බැණ වදින්නට විය. මෙහි එක් අවස්ථාවක් වන්නේ සියලු දෙනා ඉදිරිපිට තමන් බලයට ගෙන ඒම සඳහා අසීමිත කැප කිරීමක් කළ රනිල් වික්‍රමසිංහ වෙත සිදු කළ බැණ වැදීමය. දැන් නම් ඒවා මතක් වෙනකොට මෛත්‍රීගේ බඩ බුරුල් වෙනවා ඇත.
ලංකාවේ පක්ෂ ක්‍රමයේ මේ නැමියාව වනාහි නායකයාගේ පදය, පක්ෂයේ වන්නම විය යුතුය යන්නය. දේශපාලන පක්ෂ වනාහී ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය ආයතන ව්‍යුහයකි. එසේ නමුත් එහි අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වීම ගැටලුවක් හෙයින් විසි වෙනි සියවසෙන් පසු පක්ෂ ක්‍රමය සඳහා විවිධාකාර යන්ත්‍රණ බිහි විය. නායකයා පක්ෂයක සුපිරි ලකුණකි. ජනතා ආකර්ෂණය පළමුව හිමිකර ගන්නේ නායකයා මිස ප්‍රතිපත්ති නොවේ.
මෛත්‍රීගේ ශ්‍රීලනිපය කියන්නේ ඩාලි පාරේ පෙට්ටි කඩයක් නම් මේ ගැන ලියා තැවෙන්නට හේතු නැත. මේ කතා කරන්නේ දේශපාලන ක්‍රමය ගරා වැටීම සඳහා පක්ෂ ඇතුළේ නටන පිස්සු හේතුවන ආකාරය ය. මේ රටේ ජනතාව දේශපාලන ක්‍රමය ඉවතට විසි කරන්නේ ‘දරුවා ද බේසමේ’ සිටියදීය. එහෙම වුණහම ඩැමේජ් එක ප්‍රජාතන්ත්‍රවාදයටය.
බලය සඳහා මැතිවරණයකදී සටනක් දිය නොහැකි ගැන්සි ෆෝම් වෙන්නේ දේශපාලන පක්ෂ මේ ආකාරයට දිරාපත් වන විටය. මතය කොයික වෙතත්, පක්ෂයක් කියන්නේ ජනතාවට සිය දේශපාලන සහභාගීත්වය විනිවිද පෙනෙන ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි තැනකි. ඒ තුළ නෛතිකභාවය, වගවීම ආදිය තිබේ. ගැන්සි සඳහා ඒවා නැත. පෝය දිනයේ, රූපවාහිනියට කඩා වදින ගැන්සිකාරයෝ බණ නවත්වා, උන්ගේ සාකච්ඡා එහි ප්‍රචාරය කරගන්නවා වගේ ත්‍රාඩ වැඩ දේශපාලන පක්ෂ කරන්නේ නැත. දේශපාලන පක්ෂ වනාහි නීතියට කීකරු ව්‍යුහයන් හෙයින්, සියල්ල සිදුවන්නේ ඡන්දය ඉලක්ක කරගෙනය.
ජනතාවට විශ්වාස නැතිවූ කල්හි පක්ෂ දේශපාලනය යනු ‘උඩට නංවා සරම කඩා දැමීමකි’. එහෙම කළ විට පක්ෂ යන්ත්‍රණයේ වටිනාකම නැති වන්නේය. දැනටමත් ඒවා පවතින්නේ වැට උඩය. මේ කාලයේ අනික් පැත්තට ‘බඩු වැටුණා’ කියන්නේ, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩගත නොහැකි ඉමක් දක්වා ළඟා වෙන බවය. ණය බර, බෝම්බ බිය, දේශපාලන අස්ථාවරභාවය ආදී අනේක අවුල් රාශියක් වසර පහක් තුළ රටේ පැළකර ගිය මෛත්‍රීපාල හිටපු ජනාධිපතිට දැන් ඇත්තේ, ‘අත’ හැර යෑමය. හේ ‘අත’ අල්ලාගෙන සිටියහොත් එතැනින්ම අතේ කතාව අවසන් වනු ඇත. ඒවා පක්ෂ වැඩ වුව ද, ඕවා පෙරළෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ද ගලවගෙනය. එහෙයින් අපට ද එය අත හැර බලා සිටිය නොහැක්කේය.