මුලතිව් කොකුතුඩුවායි සමූහ මිනී වළෙන් සම්පූර්ණ මිනිස් ඇට සැකිලි හතරක් සහ ඇට සැකිලි කොටස් රාශියක් මෙන්ම අවි ආයුධ ඇතුළු බොහෝ දේ හමුවීමත් සමඟ මාධ්‍යවේදීන්ට එම ස්ථානයේ පුවත් ලබා ගැනීම පෙරේදා (11) සිට සීමා කර තිබේ.
එම මිනිස් ඇටසැකිලිවල හිස් කබල්වලට අනුව ඒවා අයත් වන්නේ කාන්තාවන්ට බව මතුපිට නිරීක්ෂණ මඟින් අනුමාන කර තිබේ. එමෙන්ම කැණීම් කටයුතු භාරව සිටින නිලධාරීන් මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වීම ද ප්‍රතික්ෂේප කරන්න පටන් ගෙන තිබේ.
මේ සමූහ මිනී වළේ ඇත්තේ කොටි සංවිධානය විසින් පවත්වා ගෙන ගිය වධකාගාරයකින් ඝාතනය කරන ලද කොටි සාමාජිකාවන්ගේ මළ සිරුරු බවට තොරතුරක් හිටපු කොටි සාමාජිකයකු විසින් ආරක්ෂක අංශවලට ප්‍රකාශ කිරීමේ සිද්ධියක් ජනමාධ්‍ය ඔස්සේ වාර්තාවීමත් සමඟ මේ සියලු තහනම් නියෝග මාධ්‍ය වෙත පැන වී තිබේ.
මාධ්‍යවේදීන්ට මේ සමූහ මිනී වළේ උදෑසන සිදු වූ දේ දැකබලා ගැනීමට හා ඡායාරූප ගැනීමට දිවා ආහාරය සඳහා නතර කළ පසු පැය භාගයක කාලයක් ද සවස කැණීම් කටයුතු නිමා වීමෙන් පසුව පැය බාගයක් ද වන පරිදි අවසර දී ඇති අතර, එම කාලවලදී නිලධාරීන් ඒ ස්ථානයෙන් බැහැරව යන අතර, ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් පමණක් ඉතිරි වෙයි.
මේ තත්ත්වය නිසා කොක්කුතුඩුවායි සමූහ මිනී වළ සම්බන්ධයෙන් වූ අලුත්ම තොරතුරු ලබා ගැනීමට මාධ්‍යවේදීන්ට නොහැකි වී තිබේ.
56 වැනි ජිනීවා සමුළුව පැවැත්වෙන අවස්ථාවේදී උතුරේ දෙමළ දේශපාලනඥයන් මේ සමූහ මිනීවළ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ඝාතනය කරන ලද පුද්ගලයන්ගේ ඇට සැකිලි බවට හුවා දැක්වීමට විශාල උත්සාහයක් ගත් නමුත් මේ වන විට එම උත්සාහය අසාර්ථක වී තිබේ.
දෙමළ ජාතික සන්ධානය,දෙමළ ජාතික ජනතා පෙරමුණ,දෙමළ ජනතා සන්ධානය යන උතුරේ දෙමළ දේශපාලන පක්ෂ තුනකට අයත් මන්ත්‍රීවරු හා දේශපාලනික ක්‍රියාකාරීන් මේ සමූහ මිනී වළේ කැණීම් සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමට මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයට ගොස් ඇති අතර, ඔවුන්ද උතුරේ මාධ්‍යවේදීන්ට සමූහ මිනී වළ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.