Home » හෝටලයකදී ත්‍රිරෝද රියැදුරන්ට පහර දුන් සැකකරුවෝ අත්අඩංගුවට

හෝටලයකදී ත්‍රිරෝද රියැදුරන්ට පහර දුන් සැකකරුවෝ අත්අඩංගුවට

ප්‍රධාන සැකකරු හෝටලය වසා පැන ගිහින්

by mahesh
September 13, 2023 1:00 am 0 comment

හැටන් - රංජිත් රාජපක්ෂ

තලවකැලේ නගරයේ පිහිටි ආපණශාලාවක් තුළදී ඉකුත් 10 වැනි දින ත්‍රිරෝද රථ රියැදුරන් තිදෙනකුට මුගුරුවලින් සහ තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත පෙරේරා මහතා පැවසීය.

පොලිසිය සඳහන් කළේ, ඉකුත් 10 වැනි දින තලවකැලේ නගරයේ කුලී ත්‍රිරෝද රථ සේවාවක් පවත්වාගෙන යන රියැදුරන් තිදෙනකු එදින පස්වරු 6.00 ට පමණ තේ පානය කිරීමට එම ආපණශාලාව වෙත ගොස් ඇති අතර, එහිදී එම ආපණශාලාවේ හිමිකරුගේ පුත්‍රයා සමඟ නගරයේ ක්‍රියාත්මක වන නීති විරෝධී මත්පෙති ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු හෝටලයේ අයිතිකරු, ඔහුගේ පුත්‍රයා සහ හෝටලයේ සේවකයන් කිහිපදෙනකු ත්‍රිරෝද රථ රියැදුරන් තිදෙනාට මුගුරු සහ තියුණු ආයුධයකින් අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කර ඇති බවයි. දෙපාර්ශ්වයෙන්ම තලවකැලේ පොලිසියට ලද පැමිණිලි මත ත්‍රිරෝද රථ රියැදුරන් තිදෙනා සහ හෝටලයේ අයිතිකරුගේ පුත්‍රයා සහ සේවකයෙක් ඇතුළු පස්දෙනකු තලවකැලේ පොලිසිය අත්අඩංගුවට ගෙන පෙරේදා (11) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් සිවුදෙනා මේ මස (25) වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ත්‍රිරෝද රථ රියැදුරන් තිදෙනාට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කළ ආපණශාලාවේ අයිතිකරු වන ප්‍රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගෙන සිටින බව පහරකෑමෙන් තුවාල ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ත්‍රිරෝද රථ රියැදුරන්ගේ පාර්ශ්වය චෝදනා කර සිටියි. ආපණශාලාවේ අයිතිකරු වන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත පෙරේරා මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ, මෙම ගැටුමට සම්බන්ධ ආපණශාලාවේ අයිතිකරු වන ප්‍රධාන සැකකරු ආපණශාලාව වසා දමා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට තලවකැලේ පොලිසිය මේ වන විට පියවර ගනිමින් සිටින බව ස්ථානාධිපතිවරයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT