Home » ගලි බවුසරය කුලියට දී ගත් මුදල් නගර සභා ආදායමට බැර කර නෑ
මාතලේ මහ නගර සභාව

ගලි බවුසරය කුලියට දී ගත් මුදල් නගර සභා ආදායමට බැර කර නෑ

විගණන පරීක්ෂාවකදී හෙළිවේ

by mahesh
September 13, 2023 12:55 am 0 comment

අසේල කුරුළුවංශ

මාතලේ මහ නගර සභාවට අයත් ගලි බවුසරය කුලියට දීමේදී අය කළ රුපියල් තුන්ලක්ෂ හැටපන්දහස් එකසිය විසිපහක (3,65,125) මුදලක් නගර සභා ආදායමට බැර කර නොමැති බව විගණන පරීක්ෂාවකදී අනාවරණය වී තිබේ.

නගර සභාවෙන් වෙනත් සේවාවලට අදාළව මුදල් ගැනීමේදී නිකුත් කළ කුවිතාන්සි අංක වංචනික ලෙස සටහන් කර ගලි සේවා 57ක් වෙනුවෙන් අය කළ මුදල් මෙලෙස නගර සභා ගිණුමට බැර කර නොමැති බව විගණන විමසුමේ දක්වා ඇත.

මාතලේ මහ නගර සභාවෙන් 2022 ඔක්තෝබර් මස සිට 2023 ජූනි මස දක්වා ගලි බවුසරය කුලියට දීම සම්බන්ධව විගණන පරීක්ෂාවේදී මේ තොරතුරු හෙළිව තිබේ.

ගලි සේවාව ගැනීමට ඉල්ලුම් කළ තැනැත්තන් අදාළ සේවාව ගත් බවට අත්සන් තබා තිබීම, පරිපාලක මහතා පරීක්ෂණ සටහන් යෙදීම සහ එම සේවාව දීමට අදාළ ගේට්ටු අවසරපත් නිකුත් කර තිබීමෙන් අදාළ සේවාව සපයා ඇති බව තහවුරු වන නමුත් ඒ වෙනුවෙන් අය කළ මුදල් නගර සභා ගිණුමට බැරවී නොමැති බව ද විගණනයේදී අනාවරණය වී ඇත.

ගලි බවුසරය කුලියට දුන් බවට තහවුරු වූ අවස්ථා 18කට අදාළ ඉල්ලුම්පත් ඉදිරිපත් නොකිරීම නිසා විගණනයේ විෂය පථය සීමා වූ බවත්, මේ හේතුවෙන් නියමිත ගාස්තු අදාළ සේවාලාභීන්ගෙන් අය කළේ ද? අය කළ මුදලම නගර සභා ගිණුමට බැර කළේද යන්න පිළිබඳව නිශ්චිත තහවුරුවක් කිරීමට නොහැකි වූ බවත්, ඉල්ලුම්පත් ගොනු නිසි පරිදි නඩත්තු නොකිරීම හා අධීක්ෂණය නොකිරීමෙන් මුදල් අවභාවිතයට අවස්ථාවක් සැලසී තිබූ බවත් විගණනයේදී නිරීක්ෂණය වී තිබේ.

සේවාලාභීන් නගර සීමාවේ පදිංචිව සිටී නම් අය කරන ගාස්තු අඩුය. නිවෙසක් සහ ව්‍යාපාරික ස්ථානයක් වෙනුවෙන් අය කරන ගාස්තු ද එකිනෙකට වෙනස්ය. මෙසේ තිබියදී ගලි සේවා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ පදිංචිය වරිපනම් විස්තර ලේඛනය අනුව තහවුරු කර නොගෙන ගාස්තු අය කර ඇති බව ද, ගලි බවුසරයෙන් කුලී අය කරගැනීමේ ලේඛනය කිසිදු අධීක්ෂණ නිලධාරියකු යටතේ අධීක්ෂණයට ලක් නොවී තිබෙන බව ද විගණන විමසුමේ සඳහන් කර ඇත.

එක් එක් සේවාව සැපයීමට වෙන වෙනම ගේට්ටු අවසර පත් ගෙන ඒ අනුව අදාළ සේවාව සැපයීමට දවසට අදාළ සියලුම ගේට්ටු අවසරපත් එකවර ගෙන පෙරවරුවේ පිටත්වන ගලි රථය නැවත පස්වරුවේ පැමිණ තිබෙන බව විගණනයේදී නිරීක්ෂණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව විගණන අධිකාරිවරයා මාතලේ මහ නගර සභාවේ කොමසාරිස්වරයාගෙන් කරුණු විමසා තිබෙන අතර, එහි පිටපත් මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් සහ මාතලේ පළාත් පාලන සහකාර කොමසාරිස් වෙත යොමු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT