Home » වනජීවී දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට දුන් ප්‍රතිඥාවෙන් රිට් පෙත්සමේ විභාගය අවසන් කිරීමට තිරණයක්
රිළවුන් චීනයට අපනයනය කිරීමේ සිද්ධිය

වනජීවී දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට දුන් ප්‍රතිඥාවෙන් රිට් පෙත්සමේ විභාගය අවසන් කිරීමට තිරණයක්

by mahesh
September 13, 2023 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

මෙරට රිළවුන් චීනයට අපනයනය නොකරන බවට වනජීවී දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව අනුව, පරිසර සංවිධාන සහ පරිසරවේදීන් පිරිසක් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (12) තීරණය කළේය.

රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට පසුගිය දා ගනු ලැබූ තීරණයට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබිණි.

මෙරට රිළවුන් චීනයට අපනයනය නොකරන බවට වනජීවී දෙපාර්තමේන්තුව ලබා දුන් ප්‍රතිඥාව තහවුරු කරන ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ බව තීරණය කෙරිණි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

එහිදී නීතිපතිවරයා සහ වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා සඳහන් කළේ මීට පෙර යෝජනා කර තිබූ පරිදි චීනයට රිළවුන් අපනයනය කිරීමේ කටයුතු ඉදිරියට සිදු නොකරන බව වනජීවී දෙපාර්තමේන්තුව තමන්ට දැනුම් දී තිබෙන බවය.

අදාළ ප්‍රතිඥාව ලබාදීමෙන් පසු පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කළේය. පෙත්සම් කාර පාර්ශ්වය ද ඊට එකඟත්වය පළ කළේ ය.

ශ්‍රී ලංකා වන සත්ත්ව සහ පරිසර ආරක්ෂක සංගමය ඇතුළු පරිසර සංවිධාන කිහිපයක් සහ මාතර ආනන්ද සාගර හිමියන්, පරිසර විද්‍යාඥයන් රුක්ෂාන් අමල් ජයවර්ධන, පරිසරවේදීන් ඔටාරා ගුණවර්ධන ඇතුළු තිස් දෙ‍ෙනකු මෙම පෙත්සම ගොනු කර තිබුණි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, වන සංරක්ෂණ ජනරාල්වරයා, කැබිනට් මණ්ඩල ලේකම් කැබිනට් මණ්ඩලය ඇතුළු 27 දෙනෙකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.

රිළවුන් අපනයනය කිරීම සත්ව හිංසා පනත සත්ව හිංසා වැළැක්වීමේ පනත සහ වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ඇතුළු පරිසර පනත් කිහිපයකට පටහැණි වන බැවින් එලෙස රිළවුන් අපනයනය කිරීමට ගෙන ඇති තීරණය සහ ඒ සම්බන්ධයෙන් කර ඇති නිර්දේශ බලරහිත කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන්න පෙත්සම මඟින් ඉල්ලා තිබුණි.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT