Home » මගේ සේවාදායිකාවට සාධාරණය ඉටු වුණේ නැහැ
ශෂී වීරවංශට එරෙහි නඩුව

මගේ සේවාදායිකාවට සාධාරණය ඉටු වුණේ නැහැ

by mahesh
September 13, 2023 1:00 am 0 comment

සිරන්ජනී කුමාරි

නඩු විභාගය වෙනත් අධිකරණයකට ගත්තා
– ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත දැනුම් දෙයි

විත්තියේ නීතිඥවරයා අසනීප බව අධිකරණයට දැනුම් දුන්නද එය නොසලකා නඩුව බලෙන් විමසීමට ලක් කිරීමෙන් ජනාධිපති නීතිඥවරයකුට සාධාරණය ඉටු නොවූ අධිකරණයෙන් සිය සේවාදායිකාවටද සාධාරණ ඉටු නොවන බව හැඟුණ බැවින් නඩුව මෙම අධිකරණයේ ඇසීමට එරෙහිව ඉහළ අධිකරණයකින් නියෝගයක් ලබාගත් බව ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත ඊයේ (12) දැනුම් දුන්නේය.

රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අසත්‍ය තොරතුරු ඇතුළත් අයැදුම් පත්‍රයක් ආගමන විගමන පාලකවරයා වෙත යොමු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශට එරෙහි නඩු විභාගය ඊයේ (12) යළි කැඳවූ අවස්ථාවේ දී ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කෙළේය.

වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥවරයා පවසා සිටියේ තමාට වූ මෙවැනි අසාධාරණ ක්‍රියාව කිසිදු නීතිඥවරකුට නොවේවා යැයි තමා ප්‍රාර්ථනා කරන බවය.

ඉහළ අධිකරණයේ නියෝගය තමන් වෙත ලැබී ඇති බැවින් නඩුව අංක 2 අධිකරණය වෙත යොමු කිරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ නඩුව යළි කැඳවූ අතර නඩුව සඳහා මූලික විරෝධයක් ගෙන ඒමට ඉදිරියේ දී කටයුතු කරන බව විත්තිය අධිකරණය හමුවේ දන්වා සිටියේය. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නඩුව යළි කැඳවීම ඔක්තෝබර් 13 වැනි දිනට කල් තැබුවාය.

2010 වසරේ දෙසැම්බර් මස 10 වැනි දින හෝ ඊට ආසන්න දිනක රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සිය උපන්දිනය ඇතුළු අසත්‍ය තොරතුරු ඇතුළත් අයැදුම්පත්‍රයක් ආගමන විගමන පාලකවරයා වෙත යොමු කරමින්, ආගමන විගමන පනත යටතට ගැනෙන වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිය වන ශෂී වීරවංශට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT