මිග් ගනුදෙනුවේ මුදල් තැන්පත් කර ඇතැයි සැක කරමින් අත්හිටුවා ඇති බැංකු ගිණුම් දෙකක මුදල් තමන් වෙත මුදාහරින්නැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා විශේෂ මෝසමක් ගොනු කරමින් කොළඹ මහාධිකරණයෙන් ඊයේ (12) ඉල්ලා සිටියේය.
රුසියාවේ තානාපතිවරයා ලෙස වසර නමයක් කටයුතු කළ තමන්ට ලැබුණු තානාපති වැටුප බැර කළ බැංකු ගිණුමේ මුදල් සහ මිග් ගනුදෙනුව සිදු වීමට පෙර (2006 වසරට පෙර) තැන්පත් කළ තවත් බැංකු ගිණුමක මුදල් ද තමන් වෙත මුදා හරින ලෙසට වීරතුංග මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
උදයංග වීරතුංග මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ නඩුව කැඳවීය. උදයංග වීරතුංග මහතා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක් ද අධිකරණයට ඉදිරිපත් කළ අනිල් ද සිල්වා මහතා කියා සිටියේ තම සේවාදායකයාගේ ගිණුම් ඒකපාර්ශ්විකව වසර අටක් තිස්සේ අත්හිටුවා තිබීමෙන් මහත් ආර්ථික අපහසුතාවට පත්ව ඇති බවය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මූල්‍යමය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට 2015 වසරේ දී දූෂණ විරෝධි කමිටුවට ඉක්බාල් අතාස් නමැති මාධ්‍යවේදියා පැමිණිලි කර ඇති බවත් 2006 මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් 2015 මාර්තු 26 වැනි දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගොනු කළ පැමිණිල්ලක් අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශනයක් ආරම්භ කළ බවත් කීය.
වසර 17කට පෙර සිදු වූ මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා කරමින් මෙලෙස ඒකපාර්ශ්විකව බැංකු ගිණුම් අත්හිටුවා තිබීම බලවත් අසාධාරණයක් බව ද සඳහන් කළේය.
ගිණුම් අක්‍රිය කළ කාලසීමාව හෙට දිනය (14) දක්වා දීර්ඝ කර ඇති බව මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි.
පුරා වසර 8කට වැඩි කාලයක් කලින් කලට ඒකපාර්ශ්විකව බැංකු ගිණුම් අක්‍රිය කිරීම තුළින් පවුලේ එකම ආදායම්ලාභියාගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනයේ අඟහිඟකම් මතු වී ඇති අතර, මාස්පතා කරන සියලූ ගෙවීම් වසර 8ට වැඩි කාලයක් නතර වී ඇති බව ද එමඟින් මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුව ඇති බව ද පෙන්වා දුන්නේ ය. මිග් ගනුදෙනුවට ශ්‍රී ලංකා රජය අත්සන් කිරීමට පෙර කොමර්ෂල් බැංකුවේ තමන්ගේ ගිණුමෙහි තිබුණු මුදල් මෙන්ම තමන් තානාපති ධුරය හෙබවූ වසර 09කට ආසන්න කාලයක් ලැබුණු පඩි මුදල් ද නිදහස් කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියේය.