Monday, May 5, 2025
Home » පුතාගේ අනියම් පෙමට අම්මාගෙන් යකඩ පොලු පහරක්

පුතාගේ අනියම් පෙමට අම්මාගෙන් යකඩ පොලු පහරක්

by mahesh
September 13, 2023 12:57 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත් සබරගමුව සමූහ - ගාමිණී රම්‍යපාල

සිය පිරිමි දරුවා සමඟ නිවෙසේ සිටියා යැයි මවක් යකඩ පොල්ලකින් හිසට පහර දීමෙන් බරපතළ තුවාල ලබා ඇති කාන්තාවක් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසයි.

මෙලෙස කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින 28 හැවිරිදි එක් දරු මවකි.

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාව සැමියා ගෙන් වෙන් වී දරුවා සමඟ කෑගල්ල නගරයේ කුලියට ගත් නිවසක පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි. පසුව කාන්තාව අල්ලපු නිවසේ පදිංචිව සිටින 22 හැවිරිදි තරුණයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් ද ඇති කරගෙන තිබේ. පසුව කාන්තාව මීට මාස කිහිපයකට ඉහත දී හෙට්ටිමුල්ල ප්‍රදේශයට ගොස් කුලී නිවසක පදිංචිව සිට ඇති බව කළ විමර්ශන කටයුතුවලදී අනාවරණය වී ඇත. මෙම කාන්තාව ඉකුත් 10 වැනිදා පෙරවරුවේ සිය දරුවා කෑගල්ල නගරයේ අමතර පන්තියකට ඇතුළත් කර 22 හැවිරිදි තරුණයාගේ නිවසට දහවල් කාලයේ ගොස් තිබේ. එම අවස්ථාවේ දී තරුණයාගේ පියා ව්‍යාපාර කටයුතුවලටත් මව වැඩිමහල් සහෝදරයා හා බාල සහෝදරයා ද නිවසින් බැහැරව ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

පිරිමි දරුවා කාන්තාවක් සමඟ නිවසේ සිටිනවා යැයි අසල්වැසියෙකු දුරකතනයෙන් දන්වා ඇති අතර පසුව මව විගස නිවසට පැමිණ බලා තිබේ.

පසුව කාන්තාව යකඩ පොල්ලක් ගෙන නිවෙසේ සිටි කාන්තාවගේ හිසට පහර දී පිරිමි දරුවාට ද පහර දී පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

පසුව තුවලකරු හා තුවලකාරිය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර කාන්තාවගේ තත්ත්වය බරපතළ බවත් ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සුදුසු තත්ත්වයේ නොමැති බවත් පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරන අතර සැකකාර කාන්තාව පහර දී ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT