රස පරීක්ෂක වාර්තාව කොකේන් බව තහවුරු කරයි
බ්‍රසීලයේ සිට එවා තිබූ ගුවන් තැපැල් පාර්සලයක රුපියල් කෝටි 19ක් වටිනා කිලෝ දෙකයි ග්‍රෑම් 500ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සඟවා තිබියදී කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (12) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
මේ ගුවන් තැපැල් පාර්සලය ඉකුත්දා (21) කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර, එහි වූ වොලිබෝල් දැලක උඩ සහ යට දාරවලට අඩි 67ක් දිග අතිරේක ප්ලාස්ටික් බටයක් ඇතුළු කර, ඒ තුළ මේ කොකේන් මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබුණි.
මේ අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ද කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටි අතර, එහිදී නවතම ක්‍රමයක් භාවිතා කර මේ ආකාරයට ශ්‍රී ලංකාවට කොකේන් මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ප්‍රයත්නය වැළැක්වීමට ක්‍රියා කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත සිය කෘතවේදිත්වය පළ කළේය.
මේ පාර්සලය භාර ගැනීමට කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනය හිමිකරු විසින් බලය පවරා කටුනායක ගුවන් භාණ්ඩ පරිශ්‍රය වෙත එවා තිබූ පුද්ගලයන් දෙදෙනකු ඉදිරියේදී මේ ගුවන් තැපැල් පාර්සලය විවෘත කළ අතර, ඒ තුළ වූ කොකේන් මත්ද්‍රව්‍ය එහිදී රසායනික පරීක්ෂා කිරීමකට ලක් කර ඒ බැව් තහවුරුවීමෙන් අනතුරුව මේ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ රසායනික පිරික්සුම් කට්ටල ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත දී තිබූ අතර, ඒවා මඟින් තත්පර කීපයක් වැනි කෙටි කාලයකින් මේ මත්ද්‍රව්‍ය නිසැකව හඳුනාගත හැකි වී තිබේ. එහෙත් මීට පෙර අවස්ථාවල දී මේ මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යවා අවශ්‍ය තහවුරු කර ගැනීම කළ යුතු අතර, ඒ සඳහා විශාල කාලයක් ද වැය වේ. මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
කටුනායක ටී. කේ. ජී. කපිල