මතුගම,නෑබඩ පාරේ හැටන් නැෂනල් බැංකුව අසල ලංකා ධීවර සංස්ථා මත්ස්‍ය වෙළෙඳසල නවීකරණය කර විවෘත කිරීම පසුගිය 11වැනිදා ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහතා අතින් සිදු කෙරිණී.. මෙතෙක් අවිධිමත්ව නිසි ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන ගිය මේ වෙළෙඳසල නවීකරණය කිරීම ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කිරීමේ වැඩසටහන යටතේ සිදු කර තිබේ.
ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත සිල්වා මහතා මේ අවස්ථාවට එක්වෙමින් පැවසුවේ ජනතාවට පහසු මිලට මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට මෙමගින් අවකාශය සැලසෙනු ඇති බවයි. “මේ වෙළෙඳසල නවීකරණය කිරීමත් සමඟ QR කේත ක්‍රමය හරහා ගෙවීම් කිරීමේ අවස්ථාවත් උදාකර දී තිබෙනවා. මෙහි කලින් තිබුණු වෙළෙඳසල වඩා මේ අලෙවිසල වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි නවීකරණය කිරීමට අපි කටයුතු කළා. වෙළෙඳ ප්‍රජාව සමඟ අපට තරගයක් නැහැ. අපි සියලු දෙනා සමඟම සහයෝගයෙන් කටයුතු කරනවා.ගුණාත්මක මත්ස්‍ය නිෂ්පාදන පහසු මිලට පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව සැලසීම තමා අපේ අරමුණ”යි.
මේ වෙළෙඳසල විවෘත කිරීමත් සමඟ මතුගම නගරය සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට වඩාත් ගුණාත්මක පෝෂ්‍යදායි මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාව උදා වී තිබේ. ඉදිරියේදී මෙවන් වෙළෙඳසල් රැසක් දිවයින පුරා ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ධීවර සංස්ථාව සඳහන් කරයි.
ධීවර සංස්ථාවේ සභාපති ඩී.වී. උපුල්, ධීවර සංස්ථා නිලධාරීන්, මතුගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මෙරිල් මුණසිංහ , මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ටෙරී රන්ජිත් දිසානායක, උප සභාපති දුලාන්ත වික්‍රමනායක, ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම් චාමර සමරසිංහ මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ..
බුද්ධිකා ඉඹුලාන