අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක් ලෙස පෙනී සිටිමින් මොරටුව මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුව රවටා ඒ අයගෙන් විටෙන් විට රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් ලබාගත් රක්ෂණ සමාගමක සේවයේ නිරත 24 හැවිරිදි තරුණියක මොරටුව පොලිසිය විසින් පෙරේදා (12) අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලික රක්ෂණ සමාගමක ගල්කිස්සේ පිහිටි කාර්යාලයේ සේවයේ නිරත මෙම තරුණිය බොරැල්ල සරණපාල හිමි මාවතේ පදිංචිකාරියකි.
රක්ෂණ අලෙවි කිරීම සඳහා තුන්වැනි පාර්ශ්වයක් හරහා ඇයට ලද දුරකතන අංක රැසකට ඇමතුම් ලබා දෙන විට මොරටුව මහ නගර සභාවේ සේවයේ නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු දැන හඳුනාගෙන ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සමඟ කිට්ටුවන්ත වෙමින් ඇය විටෙන් විට ඔහුව රවටමින් රුපියල් ලක්ෂ 14ක පමණ මුදලක් ලබා ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අනතුරුව ඇය තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කිට්ටුවී රුපියල් ලක්ෂ 05ක මුදලක් වංචාසහගතව ලබා ගෙන ඇති බව ද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.
මෙම තරුණිය පෙනී සිට ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් ලෙසිනි. වසරක පමණ කාලයක් තිස්සේ ඇය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ හිතවත්ව කටයුතුකර ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඇය විසින් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් බව පෙන්වීමට මෘදුකාංගයක් හරහා ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් ඇතුළු පොලිස් මූලස්ථානයේ ලිපි ශීර්ෂවලින් ලිපි පවා සකස්කර ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. එම හැඳුනුම්පත හා ව්‍යාජ ලේඛන සකස්කිරීමට යොදාගත් ඇගේ ජංගම දුරකතනයද පොලිසිය සිය භාරයට ගෙන ඇත. ඒ හැරුනු කොට ඇය සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කළ පොලිස් මූලස්ථානයේ ලිපි ශිර්ෂ ඇතුළු ව්‍යාජ ලේඛන රැසක්ද සොයා ගත් බව පොලිසිය කියයි.
ඇය මෙම ව්‍යාජ ලේඛන වට්ස් ඇප් ඔස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට යොමුකර ඇති බවද පොලිසිය කියයි. ඇය මෙසේ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් ලෙස පෙනී සිට ඇත්තේ සමීපව ඇසුරුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට බවද පොලිසිය කියයි.
මේ අය අතරින් මුලින්ම මෙම තරුණියට එරෙහිව මොරටුව පොලිසියට පැමිණිලිකර ඇත්තේ එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි. ඒ ඉකුත් 07 වෙනිදා බව පොලිසිය කියයි. එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී ඇති බවත් එම කටයුත්ත සිදු කිරීමේ වගකීම භාරදී ඇත්තේ තමාට යැයි සඳහන් කරමින් ඇය එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බිය ගන්වමින් අවස්ථා දෙකකදී ඇගේ බැංකු ගිණුමට ලක්ෂ 05ක මුදලක් බැරකරගෙන ඇති බවත් පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් කළ පැමිණිල්ලට අනුව විමර්ශනයක් පවත්වා පෙරේදා (12) ඇයව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇයව ඉදිරිපත්කර ඇත. එහිදී ඇයට ලක්ෂ පහක ශරීර ඇපයක් සහ මුදල් ඇපයක් මත මුදා හැරිය බව පොලිසිය කියයි.