උපයනවිට බද්ද සඳහා ඉදිරි අයවැයේදී සංශෝධන ඉදිරිපත් කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට මැදිහත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ප්‍රකාශ කළේය.
බදු සංශෝධන ක්‍රියාවලිය ඔස්සේ බලපෑමට ලක් වූ වෘත්තිකයන් නියෝජනය කරමින් වෘත්තීය සංගම් කිහිපයක් සමඟ සාකච්ජා කිරීමට, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අතර එහිදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
බදු සංශෝධනය තුළ උපයන විට බද්ද සඳහා සිදු කළ සංශෝධන නිසා බොහෝ වෘත්තිකයින් පීඩාවට පත්ව ඇති බව මෙහිදී සාකච්ඡාවට සහභාගි වූ වෘත්තීය සමිති නියෝජිතයෝ අවධාරණය කළහ.
බදු සංශෝධනවලින් අපේක්ෂිත අරමුණු ඉටුවී තිබේ ද, ඒ ඔස්සේ බලාපොරොත්තු වූ ආදායම් උපාය ගැනීමට හැකිවී තිබේ ද යන්න පිළිබඳ වෘත්තීය සංගම් නියෝජිතයෝ මෙහිදි දීර්ඝ වශයෙන් අදහස් පළ කළහ.
උපයන විට බද්ද සංශෝධනය කිරීම ඔස්සේ ආණ්ඩුව, මේ වසරේ අපේක්ෂිත අදායම් ඉලක්කවලට වඩා තවමත් පහළින් සිටින බව සාකච්ජාව සඳහා සහභාගි වූ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත. කෙසේ වෙතත් මේ මොහොත වන විටත් බදු සංශෝධනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස් හට සහන සලසා දීමට කටයුතු කරමින් සිටින බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් එම නිලධාරීහු පැවසුහ.
දේශීය ආදායම් බදු දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් මෙහිදී කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මේ වනවිටත් බදු ක්‍රියාවලියට සම්බන්ධ නොවූ පිරිස සම්බන්ධ කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි. ඒ අනුව නව බදු ගෙවන්නන් සමූහ ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් (Bulk Registration) මෙම සතිය තුළ ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
බදු ගැටලුව හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාම දක්වා ගැටලුවේ සංකීර්ණතාවයත්, බරපතළ බවත් කමිටුව මෙහිදී පිළිගන්නා ලදී. එබැවින් ආණ්ඩුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට (IMF) මෙම ගැටලුව විසඳීමේ දැඩි අවශ්‍යතාවය අවධාරණය කරන බව කමිටුව, වෘත්තීය සංගම් නියෝජිතයන්ට සහතික විය. ඉදිරියේදී හෝ බදු සංශෝධන සිදුවන විට ඒ ඒ වෘත්තීන් සඳහා බදු පැනවිය යුතු ආකාරය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ නීතිමය ලියවිල්ලක් බවට පත්කිරීමේ වැදගත්කම සභාපති ගාමිණී වලේබොඩ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ අනුව සති දෙකක් තුළ සියලුම පාර්ශ්වවල එකඟතාවයෙන් උපයන විට බද්දේ සිදුවිය යුතු සංශෝධන පිළිබඳව වාර්තාවක් සකස් කර කමිටුව වෙත භාර දෙන ලෙස සභාපතිවරයා අදාළ වෘත්තීය සංගම් නියෝජිතයින්ට උපදෙස් ලබා දුන්නේය.
මේ අවස්ථාව සඳහා කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් වීරසේකර, වෛද්‍ය ගයාෂාන් නවනන්ද, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන් ද, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් නියෝජනය කරමින් වෘත්තීය සංගම් 25ක පමණ නියෝජිතයන් සහ ස්වාධීන නිරීක්ෂකයන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.
ස්වර්ණා විජේකෝන්,
සන්ධ්‍යා කරුණාරත්න