Home » රාජ්‍ය සේවකයන් රට ගොඩගන්න වැඩ කළ යුතුයි – මහාචාර්ය ආශු මාරසිංහ

රාජ්‍ය සේවකයන් රට ගොඩගන්න වැඩ කළ යුතුයි – මහාචාර්ය ආශු මාරසිංහ

by sachintha
September 14, 2023 1:39 am 0 comment

ශිරෝමි අබයසිංහ

විදේශ නායකයන් අපේ රට ගොඩ දැමීම සඳහා උදවු කිරීමට සූදානම් වෙද්දී රාජ්‍ය සේවකයන් ද ඒ වෙනුවෙන් වැඩ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක, මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (12) පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“චැනල් 4 නාළිකාවේ වීඩියෝව නිසා විවිධ අය විවිධ මත පළ කරනවා. ඒ නිසාම ජනාධිපතිවරයා ඒ පිළිබඳව සොයා බැලීමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ සහභාගීත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. මේ පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නා.

මීට පෙරත් පාර්ලිමේන්තුවෙන් තේරීම් කාරක සභාවක් දැම්මා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනම ජනාධිපති කොමිසම් සභාවක් පත් කළා. එවිට පාර්ලිමේන්තුවට මේ පිළිබඳව වාර්තා හතරක් ඉදිරිපත් වෙනවා. ඒ වගේම හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතා ප්‍රකාශ කළ කාරණා අනුව මෙහි මහ මොළකරුවන් කවුද යන්න පාර්ලිමේන්තු කාරක සභාව වෙත පැමිණ ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙනවා. කාදිනල්තුමාටත් ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබෙනවා. සමස්ත රටම මෙය දැන ගත යුතු කාරණයක්. යහපාලන ආණ්ඩුව පරාජයට පත්වුණේ පාස්කු ප්‍රහාරය නිසා බව අප සිහිපත් කළ යුතුයි.

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කළ හැකි අපේක්ෂකයකු සොයා ගත යුතු බව ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. හැමෝම මේ මොහොතේ කල්පනා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කරන්න හැකි කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ කෙසේද? යන්න. විපක්ෂයේ ප්‍රධාන අභියෝගය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ජනාධිපතිවරයෙක් නිර්මාණය කිරීමේ අභියෝගය බව පෙනී යනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඊළඟ ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව ඔවුන්ට පසක්වී තිබෙනවා. ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව සමඟි ජන බලවේගයේ යම් බෙදීමක් ඇතිවී තිබෙන බවත් ආරංචියි.

හැකි ඉක්මනින් සියලු දෙනාම එකතුවී ශ්‍රී ලංකාවට සහාය දැක්විය යුතුය කියා ඉන්දියාවේ පැවැත්වෙන ජී 20 සමුළුවේදී හිටපු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ප්‍රකාශ කළා. ඒ වගේම කියුබාවේ පැවැත්වෙන සමුළුවට ජනාධිපතිවරයා ඊළඟ සතියේ සහභාගී වීමට නියමිතයි. ඒ අනුව ජාත්‍යන්තර සහයෝගය දිනා ගනිමින් ජාත්‍යන්තර මතවාදය අපේ රට පිළිබඳව දිනාගැනීමටත් හැකියාව ලැබෙනවා.

මේ මාසය අවසාන වන විට මිලියනයකට ආසන්න සංචාරකයන් ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබෙනවා. රුපියල් බිලියන තුනක ආදායමක් අපට ගැනීමේ හැකියාව තිබෙන බව මහ බැංකු අධිපතිවරයා පුරෝකතනය කර තිබෙනවා. ඒ නිසා මේ වර්ෂය අවසාන වෙද්දී සංචාරක, විදේශ වෙළෙඳාම සහ විදේශ රැකියා කියන අංශවල වර්ධනයත් එක්ක ඉතා විශාල ආර්ථිකයක් රට තුළ නිර්මාණය කිරීමේ හැකියාව උදා වෙන බව කිව හැකියි. ජනාධිපතිවරුන් හොය හොයා ඉන්නේ නැතුව හැම දෙනාම එකතු වෙලා මේ රට හදමු යැයි විපක්ෂයටත්, ජනතාවටත් ප්‍රකාශ කළ යුතුයි. එහෙම නැති වුණොත් කිසිම කෙනකුට ජනාධිපතිවරණයක් වත් වෙනත් කිසිම මැතිවරණයක් පවත්වන්න හැකි රටක් ඉතුරු වෙන්නේ නෑ.”

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT