Home » යාපනයේ හෝටල් කාමරයක දැරියකගේ මළ සිරුරක් 55 හැවිරිදි මිත්තණිය සිහිසුන්ව ඇය අසල

යාපනයේ හෝටල් කාමරයක දැරියකගේ මළ සිරුරක් 55 හැවිරිදි මිත්තණිය සිහිසුන්ව ඇය අසල

by sachintha
September 14, 2023 1:39 am 0 comment

යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පෞද්ගලික හෝටල් කාමරයකින් වයස අවුරුදු 12ක මියගිය දැරියකගේ මළ සිරුරක් යාපනය කෝපායී පොලිසිය විසින් පෙරේදා (12) සොයාගෙන තිබේ.

පොලිසිය එම හෝටල් කාමරයට ගිය අවස්ථාවේදී මියගිය දැරියගේ මිත්තනිය බවට සැක කරන කාන්තාවක් ද එම හෝටල් කාමරයේ ඇදක වැතිර සිට ඇති අතර, ඇය ඒ අවස්ථාව වන විටත් සිහිසුන්ව සිට ඇත.

මේ දෙදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට යාපනයට පැමිණ ඇති අතර, කාන්තාව හෝටලයේ කළමනාකරුට පවසා ඇත්තේ දැරිය රෝගයකින් පෙළෙන බවත් ඇයට ත්‍රිකුණාමලයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි නිසා යාපනයේ වෛද්‍යවරයෙකු හමුවීමට පැමිණි බවයි.

මේ දෙදෙනා කාමරය කුලියට ගත් පසුව එක් අවස්ථාවකදී පමණක් කාමරයෙන් ඉවතට ගොස් යළි ආපසු පැමිණි බව හෝටලයේ කළමනාකාරවරයා කෝපායී පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

කාමරයෙන් දැඩි දුගඳක් හමන නිසා සේවකයින් කාමරයේ දොරට තට්ටු කළත් කිසිදු ශබ්දයක් නොමැති නිසා ජනේලයකින් කාමරය තුළට සේවකයින් ගොස් බලද්දී ඇඳක වැතිර සිටි දැරියගේ සිරූර මත මැස්සන් වසමින් සිටි බවත් ඇගේ සිරුරෙන් දැඩි දුගඳක් හමමින් තිබූ බවත් කළමනාකාරවරයා සඳහන් කළේය.

මිත්තනිය බව කියන කාන්තාවගේ ආශ්වාස ප්‍රාශ්වාස තත්ත්වයක් පෙන්නුම් කළ නිසා පොලිසිය පැමිණීමෙන් පසුව ඇයව රෝහල්ගත කිරීමට රැගෙන යන විට ‘ මාව මේ කොහෙද ගෙනියන්නේ ‘ යනුවෙන් කෙඳිරි ගාමින් ප්‍රකාශ කළ බවත් ඊට පසුව මේ දක්වා කිසිම කතාවක් කාන්තාවගෙන් අසන්නට නොලැබුණු බවත් කියන කෝපායී පොලිසිය මෙම දැරිය මියගොස් දින තුනක් පමණ ඉකුත්ව ගොස් ඇති බවද පවසා සිටියේය.

මිත්තනිය විසින් ලියූ බවට සැක කරන ලිපියක් ද කාමරයෙන් හමු වී ඇති අතර, එම ලිපියේ සඳහන්ව ඇත්තේ ඔවුන් සියදිවි හානි කර ගන්නා බව ප්‍රකාශ කර ඇති මුත් එම ලිපිය ඉතා සැක සහිත බවයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන යාපනය පොලිසිය ප්‍රකාශ කරයි. ඇතැම් විට දැරිය දූෂණයට ලක් කොට ඇය මරා දමා මිත්තනියටද කුමක් හෝ පානය කිරීමට සලස්වා ඇති බවට විශ්වාස කරන පොලිසිය දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත භාර දී තිබේ.

දැරියගේ නම කේමා ලෙස සඳහන්ව ඇත.

සිහිසුන්ව සිටි කාන්තාව 53 හැවිරිදි ත්‍රිකුණාමලයේ පදිංචි නාගපූසානි ශිවනාදන් නැමැත්තියක් බවට හඳුනාගෙන ඇති අතර, ඇය දැඩි පොලිස් රැකවරණය මත යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇයට තවමත් නොමැති නිසා සිද්ධිය සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරක් ලබා ගැනීමට පොලිසියට අසීරු වී තිබේ.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT