හිඟුරාන සීනි කර්මාන්ත ආයතනය පවත්වාගෙන යන ගල්ඔය වැවිලි සමාගම ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් උක් වගාවේ කටයතු නීරීක්ෂණය සහ පළිබෝධනාශක ඉසීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඒ අනුව ගල්ඔය වැවිලි සමාගම යටතේ ඇති උක් වගාවන්වලට රෝග ඇති වූ අවස්ථාවන්වල සහ කෘෂි නාශක යෙදීමට මෙන්ම උක් වගාවේ ගුණාත්මක තත්ත්වය සෙවීමට මෙම ඩ්‍රෝන තාක්ෂණය යෙදීමට ආයතනය පියවර ගෙන ඇත. එමෙන්ම උක් වගාව තුළට පැමිණෙන වන අලි ඉන්නා ස්ථාන හඳුනා ගැනීම සඳහා ද මෙම තාක්ෂණය යොදා ගැනීමට පාලන අධිකාරිය කටයුතු කරමින් සිටී. උක් වගාවක් තුළ ඇති පාළු ස්ථාන හඳුනාගෙන එම වගාව ඇති ගොවීන්ට එම ස්ථානවල උක් ගස් නැවත සිටුවීමට අවශ්‍ය උපදෙස් ගල්ඔය වැවිලි සමාගමේ ක්ෂේත්‍ර නිලධාරීන් හරහා ලබාදෙන අතර, ඊට අවශ්‍ය බීජ උක් ද ලබා දීමට ගල්ඔය වැවිලි සමාගම පියවර ගන්නා බව එම සමාගමේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානී තුෂාර සමන් කුමාර මහතා පැවසීය. ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන වැවිලි කළමනාකරු එච්.එම්.ඒ. බණ්ඩාර මහතා කියා සිටියේ, දැනට උක් වගාව සඳහා හිඟුරාණ සහ ඒ අවට ගොවීන් සම්බන්ධ වී ඇති අතර, ඔවුන් දිරිමත් කිරීම මෙන්ම ගුණාත්මක වගාවක් ඇති කිරීමට මෙම පියවර ගත් බවයි.
දැනට ගල්ඔය වැවිලි සමාගම යටතේ උක් ගස් හෙක්ටයාර් 8,000ක් වගා කරන අතර, ගොවීන් 10,000ක් පමණ උක් වගාවට සමඟ සම්බන්ධ වී තිබේ. උක් අස්වැන්න වැඩි වීම තුළින් ගොවියාට ආර්ථික ලාභයක් ලබාදීම මෙන්ම සීනි නිෂ්පාදනය වැඩි කර ජාතික ආර්ථිකයට ශක්තියක් ලබාදීම නවීන තාක්ෂණය උපයෝගී කරමින් සිදු කරන බව ගල්ඔය වැවිලි සමාමේ ප්‍රධාන විධායක නිලධාරී සුරාත් පෙරේරා මහතා පැවසීය.
අම්පාර – වසන්ත චන්ද්‍රපාල