මීට වසරකට පමණ පෙර ජාතික සංචිතයට පැමිණි පළමු දවසේ කල්පනාවට ගත්තේ කෙසේ හෝ වසරක කාලයක් සංචිතයෙන් ඉවතට විසි වන්නේ නැතිව ස්ථානයක් ආරක්ෂා කරගැනීම බව දුනිත් වෙල්ලාලගේ පැවැසීය.
එවැනි සැලසුමක් ඇති කර ගැනීමට සිතුවිලි පහළ වූයේ ඒ වසරක කාලයේදී ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ අත්දැකීම් ලබා ගැනීමට බව ඉන්දියාවට එරෙහි තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.
“මම හැම වෙලාවේම මාව විශ්වාස කරනවා. ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ගොඩක් දේ ඉගෙන ගන්න ආසාවක් තිබුණා. ඒ වුණත් දැන් හිතෙනවා තව ඉගෙන ගන්න කොයිතරම් දේවල් තියෙනවාද කියලා“ දුනිත් වෙල්ලාලගේ පැවැසීය.
තවමත් 20 හැවිරිදි වියෙහි පසුවන දුනිත් වෙල්ලාලගේ ඉන්දියාවට එරෙහි තරගයේදී පන්දු 46කදී දැවැන්ත හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 42ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී ලකුණු 40කට කඩුලු 5ක් බිඳ හෙළ එක්දින දිවියේ ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා පොතට එක් කළේය.
“ ඉන්දියාවට එරෙහිව පන්දුවට පහරදීමේදී මගේ සැලසුම වුනේ අනික් පැත්තේ හිටිය ‘ධනා අයියාට‘ (ධනංජය ද සිල්වාට) උපරිම සහයෝගය දෙමින් එක ලකුණක් ගහන ඒකයි. ඒ වේලාවේ අවදානමක් අරන් ප්‍රහාර එල්ල කරන්න හිතුවේ නෑ. ‘ධනා අයියා‘ මට කිවුවේත් පුළුවන් තරම් ලකුණු අරන් ලකුණු පරතරය අඩුකර ගමු කියලයි. මගේ සැලසුම් වුණේ ‘ධනා අයියා’ කියපු විදිහට වැඩේ කරන එකයි. තණතිල්ල පිළිබඳ හොඳ අවබෝධයක් මට තිබුණා. පන්දු යැවීමේදි මා දැන ගත්තා තණතිල්ල ටිකක් කැපෙන බව“ වෙල්ලාලගේ පැවැසීය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පෙරේදා පැවැති සුපිරි 4 වටයේ තරගයෙන් ඉන්දියාව ලකුණු 41ක ජයක් ලබා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර් 49.1කදී සියලු දෙනා දැවී ලකුණු 213ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම හඹාගිය ශ්‍රී ලංකාව ඕවර් 41.3කදී ලකුණු 172කදී සියලු දෙනා දැවී ගියහ.
“ ඉන්දියාවට එරෙහි තරගයේදී මගේ දක්ෂතා කොහොම වුණත් අපි මැච් එක පැරදුනා එ්ක ගැන ඇත්තටම මට දුකයි. නමුත් හොඳ සටනක් දුන්න ඒක ගැන සතුටක් ඇති වෙනවා. ලෝක පූජිත කෝලිගේ කඩුල්ල දවා ගැනීමත් සතුටක්. ඉන්දියාවේ පන්දු යවන්නන් ඉතාම දක්ෂයි. අපිට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තව එක මැච් එකක් තියෙනවා. ඒ තරගයේදී වැරදි අඩුපාඩු අවම කරගෙන හොදින් සෙල්ලම් කරලා අවසන් තරගයට එන්න බලාපොරොත්තු වෙනවා“ වෙල්ලාලගේ සඳහන් කළේය.
“විකට්- ටු – විකට් පන්දු යැවුවා. කඩුලු දවා ගන්න හිතලා මා පන්දු යැවුවේ නෑ. පළමු ඕවර් දෙක තුනේදී විකට් ආවා.
ඒ නිසා මැච් එක අපේ පැත්තට යොමු වුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත භාවිතය පිළිබඳ මා හැම විටම විශ්වාසයක් තබා ගන්නවා. මා එදා කළේත් ඒ සිද්ධාන්ත අනුව කටයුතු කිරීමයි “ වෙල්ලාලගේ පැවැසීය.
ප්‍රින්ස් ගුණසේකර ආර්. ප්‍රේමදාස පිටියේ සිට..