Home » මානව හිමිකම් කොමසාරිස් වාර්තාවට ශ්‍රී ලංකාවේ කනස්සල්ල
පාස්කු දින ප්‍රහාරය ගැන වැරදි තොරතුරු 

මානව හිමිකම් කොමසාරිස් වාර්තාවට ශ්‍රී ලංකාවේ කනස්සල්ල

by mahesh
September 15, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

වැරැදි තොරතුරුවලින් සමන්විතව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කර තිබෙන වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය කනස්සල්ල පළ කර තිබේ.

පාස්කු දා ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර ආරක්ෂක සංවිධානවල සහාය ඇතිව ශ්‍රී ලංකාව පූර්ණ පරීක්ෂණයක් පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබියදීත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව තුළ ප්‍රහාරය පිළිබඳ වැරදිසහගත ලෙස කරුණු ඉදිරිපත් කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපතිනී හිමාලි අරුණතිලක මහත්මිය අවධාරණය කර ඇත.

එහිදී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය අදාළ වාර්තාව සඳහා වැරදිසහගත, තහවුරු නොකළ, පක්ෂග්‍රාහි මූලාශ්‍රවලින් තොරතුරු ගෙන ඇති බව ද පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයේ තෙවැනි දිනය අමතමින් ශ්‍රී ලංකා තානාපතිනිය මේ බව සඳහන් කළේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එහිදී විවාදයට එක් වෙමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය, මානව හිමිකම් මහ කොමසාරිස්වරයා පසුගියදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යාවත්කාලීන වාර්තාවේ පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ කරුණුවලට ප්‍රතිචාර දක්වා ඇත.

එහිදී අදහස් දක්වා තිබෙන හිමාලි අරුණතිලක මහත්මිය,

“මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ලිඛිත යාවත්කාලීන වාර්තාවෙන් 2019 පාස්කු ඉරිදා දා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිසහගත සහ තහවුරු නොකළ, පක්ෂග්‍රාහි මූලාශ්‍ර යොදා ගනිමින් විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබෙනවා. ලක් රජය විසින් පාස්කු දා ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරිපූර්ණ පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවකින් ඒ පිළිබඳ විමර්ශනය කර එහි වාර්තාව ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිය දී මානව හිමිකම් මහ කොමසාරිස්වරයා එවැනි සටහනක් තැබීම කනගාටුදායකයි. ශ්‍රී ලංකාව සිදු කළ විමර්ශනයට ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලිසිය, එෆ්. බී. අයි. සහ ඉන්ටපෝල් ආයතනවල ද සහාය ගත්තා.

2022 අප්‍රේල් මාසයේ ඒ සම්බන්ධයෙන් 79 දෙනකුට අධිචෝදනා ගොනු කෙරුණා. 2022 ජනවාරි මස 12 වෙනිදා ප්‍රහාරයට වගකිවයුතු හිටපු ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළා. එමෙන්ම මෑතකදී ප්‍රහාරය සම්බන්ධයෙන් පළ වූ වාර්තා පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මෙන්ම ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT