Home » නිවසට වෙඩි තැබූ අය මරා දමන්නයි තොරතුරු හෙළි වෙයි
මාකිලංගමුවේ සංජීව ආවේ

නිවසට වෙඩි තැබූ අය මරා දමන්නයි තොරතුරු හෙළි වෙයි

by mahesh
September 15, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

මාකිලංගමුවේ සංජීව නමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරු නේපාලයේ කත්මන්ඩු සිට මෙරටට පැමිණ ඇත්තේ ඔහුගේ නිවසට වෙඩි තැබූ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සාමාජිකයන් ඝාතනය කර නැවත රටින් පළායාමේ අපේක්ෂාවෙන් බවට තොරතුරු හෙළි වී තිබේ.

මාකිලංගමුවේ සංජීවගේ බිරිය හා පවුලේ සාමාජිකයන් පදිංචිව සිටින්නේ ගනේමුල්ල මාකිලංගමුවේ පිහිටි සංජීවගේ මහ ගෙදරය. අගෝස්තු 25 වෙනිදා අලුයම් කාලයේදී එම නිවස ඉදිරිපිටට යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් ටී 56 අවියකින් වෙඩි තබා පළාගොස් තිබුණි.

මෙසේ ඔහුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ලවන්නේ නේපාල දේශ සීමාව ආසන්න ප්‍රදේශයකදී සංජීවත් ඔහු සමඟ එකට සිටින ගොත අසංක නමැති පාතාල අපරාධකරුත් ඉන්දියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇතැයි මෙරට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමත් සමඟිනි.

ඔවුන් දෙදෙනා ඉන්දියානු අත්අඩංගුවට පත්වූ බව මුලින් කියැවුණත් පසුව තහවුරු නොවූ තොරතුරු මගින් අනාවරණය වන්නේ ඔවුන් දෙදෙනා ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මුදා හැර ඇති බවය.

මාකිලංගමුවේ සංජීවගෙන් මෙතෙක් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට අවස්ථාවක් ලැබී නැති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඊයේ වන විට ඔහුව පෑලියගොඩ පිහිටි බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා තිබුණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන යටතේ ඔහුව දින 90ක් රඳවාගෙන පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු ද සිදුකරමින් තිබුණි.

මාකිලංගමුවේ සංජීව ඉදිරි දින කිහිපය තුළ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධික්ෂණයෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි පොලිස් ස්ථානයක රඳවා තැබෙනු ඇත. ඔහුට එරෙහිව මිනිස් ඝාතන හා අපරාධ බොහොමයක් ඇත්තේ ගම්පහ ආශ්‍රිතව බැවින් පොලිස් බලධාරීන් මෙම තීරණයට එළඹ ඇත.

මාකිලංගමුවේ සංජීව නේපාලයේ සිට පෙරේදා (13) පැමිණෙන විට ඔහු සතුව තිබුණු විදෙස් ගමන් බලපත්‍රයේ ඇති ආගමන විගමන මුද්‍රා සහ සටහන්වලට අනුව පසුගිය අගොස්තු 30 වෙනිදා එම විදෙස් ගමන් බලපත්‍රයේ මෙරටින් පිටවීමේ නිල මුද්‍රා සටහන්ව තිබී ඇත. එහි ඉන්දියානු වීසා බලපත්‍රය ද තිබී ඇත. එම ඉන්දියානු වීසා බලපත්‍රය නිකුත්කර ඇත්තේ අගෝස්තු 16 වෙනිදා සිට මාස 03ක කාලයක් සඳහාය. ඉන්දියාවට අගොස්තු 30 වෙනිදා ඔහු ඇතුළු වූ බවට ඉන්දියානු ආගමන විගමන සහතිකය ද එහි ඇත. ඉන්දියාවන් පිටවීමේ නිල මුදාව ඇත්තේ සැත්තැම්බර් 04 වෙනිදාය. නේපාලයට ඇතුළු වූ බවට නේපාලයේ ආගමන විගමන මුද්‍රා ඇත්තේ සැත්තැම්බර් 06 වෙනිදාය. මෙම විදෙස්ගමන් බලපත්‍රය ව්‍යාජ ලෙස සකස්කර නැති සැබෑ විදෙස් ගමන් බලපත්‍රයක් බවට මේ වන විට තහවුරුකරගෙන හමාරය. සැබෑ ලෙසම අගොස්තු 30 වෙනිදා මෙම විදෙස් ගමන් බලපත්‍රය රැගෙන රටින් පිටවූයේ කවුරුන්දැයි කියා විමර්ශන අංශවල දැඩි අවධානයක් යොමුකරමින් විමර්ශන මේ වන විට පැවැත්වේ. මෙම විදෙස් ගමන් බලපත්‍රයෙන්

යම් පුද්ගලයෙක් ඉන්දියාවට ගොස් එය මාකිලංගමුවේ සංජීව අතට පත්කර ඇති බව හෝ නිල මුදා තැබූ විදෙස් ගමන් බලපත්‍රය රැගෙන වෙනත් පුද්ගලයෙක් ඉන්දියාවට ගොස් එය සංජීව අතට පත්කර ඇතැයි සැකයක් මේ වන විට මතුව තිබේ. ඒ ගැන සංජීවගෙන් ප්‍රශ්න කර ඉදිරියේදී සැබෑ තත්ත්වය හෙළිකර ගැනීමට හැකිවනු ඇති බව පොලිසිය විශ්වාස කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT