Sunday, May 11, 2025
Home » රටට ඩොලර් ගේන තෙවන අඹුල් කෙසෙල් කම්හල හම්බන්තොට මුරවැසිහේනට

රටට ඩොලර් ගේන තෙවන අඹුල් කෙසෙල් කම්හල හම්බන්තොට මුරවැසිහේනට

by mahesh
September 15, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් තුන්වැනි කම්හල රුපියල් මිලියන 65ක වියදමින් හම්බන්තොට මුරවැසිහේන ප්‍රදේශයේ ඉදි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ඇඹුල් කෙසෙල්වලට රටවල් ගණනාවකින් ඇණවුම් ඉදිරිපත්ව ඇති බැවින් ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාවන්හි තුන්වැන්න කඩිනමින් ඉදිකිරීමට හම්බන්තොට මුරවැසිහේන ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් යොදා ගැනීමට සැලසුම් කර තිබේ. මේ ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කලාපය ඇඹිලිපිටිය, හම්බන්තොට හා සෙවණගල ආවරණය වන පරිදි අක්කර 800ක් යොදා ගනිමින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

පසු අස්වනු තාක්ෂණික ආයතනය විසින් මේ ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට අවශ්‍ය රුපියල් මිලියන 65ක මූල්‍ය ප්‍රතිපාදන සපයයි. මේ සැකසුම් මධ්‍යස්ථානයට අවශ්‍ය යන්ත්‍ර හා උපකරණ සියල්ලම දේශීය වශයෙන් නිපදවන ලද ආයතනයකින් මිල දී ගැනීමට නියමිත බවද ඇමැතිවරයා පවසයි.

ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කලාප පළමුවැන්න හා සැකසුම් මධ්‍යස්ථානය රාජාංගණයේ ස්ථාපිත කර ඇති අතර දෙවන කලාපය යාපනයේ ස්ථාපිත කර ඇත. රාජාංගණයේ අක්කර 800ක හා යාපනයේ අක්කර 400ක ඇඹුල් කෙසෙල් වගාව ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් කටයුතු යොදා තිබේ.

මේ වනවිට අපේ රටේ ඇඹුල් කෙසෙල්වලට අමතරව, වට්ටක්කා, මඤ්ඤොක්කා හා තවත් එළවළු වර්ග කීපයක් අපනයනයට ඩුබායිහි අපනයන ව්‍යාපාරිකයකු ඉදිරිපත්ව ඇත. රටවල් ගණනාවකින් අප රටේ එළවළු හා පලතුරු සඳහා ඇණවුම් ලැබී තිබේ. ඒ නිසා මුරවැසිහේන ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු දෙසැම්බර් මාසය වනවිට අවසන් කරන්නැයි ද කෘෂිකර්ම ඇමැතිවරයා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් තුන්වන කලාපයේ ගොවීන් 800ක් තෝරා ගන්නා අතර ඔවුන්ට කෙසෙල් වැවීමට අධි ඝනත්ව වගා ක්‍රමය, තාක්ෂණය හා තාක්ෂණික උපකරණ, වගාවේ අස්වැන්න මිල දී ගැනීමට ව්‍යාපාරික අවස්ථා සියල්ලම කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ උපදේශකත්වයෙන් ලබාදීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT