කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමට ඉදිරි වසරක කාලය වෙනුවෙන් ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ (IORA) සභාපතිත්වය භාර ගැනීමට සූදානම් බව විදේශ කටයුතු ඇමැති අලී සබ්රි මහතා අවධාරණය කරයි.
ලොව වැදගත් ස්ථානයක පිහිටා තිබෙන ශ්‍රී ලංකාව එයින් නිසි ප්‍රයෝජන ගැනීම අවශ්‍ය බවත්, ඒ සඳහා ලෝකය සමඟ සම්බන්ධ විය යුතු බවත්, ඒ සඳහා ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ සභාපතිත්වය තීරණාත්මක සාධකයක් වන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (14) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිණි. ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ සාමාජිකයන් ලෙස ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, කොමරෝස්, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, කෙන්යාව, මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, ඕමානය, සීෂෙල්ස්, සිංගප්පූරුව, සෝමාලියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය කටයුතු කරයි. ඊට අමතරව චීනය, ඊජිප්තුව, ජර්මනිය, ඉතාලිය, ජපානය, කොරියානු ජනරජය, රුසියානු සමූහාණ්ඩුව, සෞදි අරාබිය, තුර්කිය, එක්සත් රාජධානිය සහ අමෙරිකා එක්සත් ජනපදය සංවාද පාර්ශ්වකරුවන් වන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය පෙන්වා දෙයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙලෙස ද පැවැසීය.
Òඑළැඹෙන ඔක්තෝබර් මාසයේ 10 සහ 11 දිනවල ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ ඇමැති මට්ටමේ රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඉදිරි දෙවසරක කාලයට එම සංවිධානයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වෙනවා. ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල් විසින් පිහිටුවා ගන්නා ලද සංවිධානයක් වන මෙහි සාමාජිකයන් වශයෙන් මේ වන විට රටවල් 23ක් කටයුතු කරනවා. ඒ හැරෙන්නට තවත් රටවල් 11ක් සංවාද හවුල්කරුවන් වශයෙන් කටයුතු කරනවා.
ඒ අනුව ආසියානු රටවල්, අපිකානු රටවල්, දකුණු ආසියානු රටවල්, ඔස්ට්‍රේලියාව සහ මැදපෙරදිග රටවල් ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ සාමාජිකයන් ලෙස කටයුතු කරනවා. එය ඉතාම වැදගත් සංවිධානයක්. මේ වන විට ඉන්දියන් සාගරයේ පවතින තත්ත්වය හේතුවෙන් මේ සංවිධානයට විශාල වැදගත්කමක් හිමිව තිබෙනවා.
ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාව දිගු කාලයක් පුරා වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් කැපී පෙනෙනවා. අපේ පිහිටීම අතිශය වැදගත්. ඒ පිහිටීම ප්‍රයෝජනයට ගැනීම අවශ්‍ය වන්නේ නම් අපි ලෝකය සමඟ සම්බන්ධ විය යුතුයි. පිහිටීම සම්බන්ධ කර ගනිමින් නාවික, ගුවන් යානා, වාණිජ කේන්ද්‍රස්ථානයක් වශයෙන් කටයුතු කරන්නට නම් ලෝකය සමඟ සම්බන්ධ විය යුතුයි. ඒ අනුව ලෝකය සමඟ සම්බන්ධ වීමට උත්සාහ කරන මේ අවස්ථාවේ ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වෙනවා.
මේ කාලයේ ඉන්දියන් සාගරය සහ ඒ ආශ්‍රිත රටවල සාමය, ස්ථාවර බව සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් කැප වෙනවා. එහිදී විශේෂයෙන්ම කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. ආරක්ෂාව තහවුරු කරගැනීම, සාමය තහවුරු කරගැනීම, එකිනෙකා අතර තිබෙන සහයෝගීතාව හා දැනුම වැඩිදියුණු කරගැනීම, වාණිජ සම්බන්ධතා පැවැත්වීම, නිල් ආර්ථිකය ගොඩනඟා ගැනීම ආදිය සම්බන්ධයෙන් මෙවර සමුළුවේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා.
ශ්‍රී ලංකාව මේ වෙනුවෙන් තේමාවක් ඉදිරිපත් කර තිබෙනවා. Òකලාපයේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සහ ඉන්දියන් සාගරයේ අනන්‍යතාව තහවුරු කරගැනීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීමÓ යන්න එම තේමාවයි. මේ වසර දෙකේ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් නායකත්වය දී කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. ඉන්දියන් සාගරයට සහ කලාපයට බලපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳීම මෙහිදී සිදු වෙනවා.
මේ අතර 1971දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ රටේ අගමැතිනිය වශයෙන් සහ විදේශ ඇමැතිනිය වශයෙන් ඉන්දියන් සාගරය සාම කලාපයක් හැටියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එය අපේ ඉතිහාසය සහ අභිමානයයි. එම තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කර මේ කලාපයේ සාමය, සමඟිය, සහයෝගීතාව, තිරසර සංවර්ධනය වෙනුවෙන් නායකත්වය දීමට මේ සමුළුව හරහා උත්සාහ කරනවා. ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ විදේශ ඇමැතිවරුන්ගේ සමුළුවට මේ වන විට රටවල් 16ක විදේශ ඇමැතිවරුන් සහභාගි වන බවට තහවුරු කර තිබෙනවා.Ó
මෙහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ශානිකා දිසානායක මහත්මිය ද අදහස් දැක්වූවාය.
විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සමන්ත පතිරණ, බංග්ලාදේශයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්, විධායක අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.