ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කොරියාවේ නව රැකියා ක්ෂේත්‍රයන් විවෘත කිරීමටත්, ඔවුන්ට දැනට ලබා දෙන කොරියානු රැකියා ප්‍රමාණය ඉහළ දැමීමටත් අවශ්‍ය පියවර ගන්නා බව කොරියානු කම්කරු සහ රැකියා ඇමැති Lee Jung-Sik මහතා ඊයේ (14) සහතික විය.
කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතාගේ ආරාධනයකට ඇමැති Lee Jung-Sik මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (14)මෙරටට පැමිණි අවස්ථාවේ මේ බව සහතික වී ඇත. විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා ඇමැති Lee Jung-Sik මහතාව ගුවන්තොටුපොළේ දී පිළිගනු ලැබිණි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී ඇමැතිවරුන් දෙදෙනා අතර නිල හමුව පැවති අතර, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
වසර විස්සකට පසුව කොරියාවේ ඊ.පී.එස්. ක්‍රමවේදය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදු කරන බවද, ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා දීමට හැකියාව ඇති බව ද කොරියානු කම්කරු ඇමැතිවරයා මෙහිදී පැවසීය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඇඟලුම්, සාත්තු සේවක වැනි නව රැකියා ක්ෂේත්‍රයන් විවෘත කරන ලෙසට මනුෂ නානායක්කාර ඇමැතිවරයා ඉල්ලා සිටි අතර, එයට කොරියානු කම්කරු සහ රැකියා ඇමැතිවරයාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් හිමි විය.
කොරියානු නැව් ඉදි කිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා විශාල ශ්‍රමිකයන් පිරිසක් අවශ්‍ය බවත්, ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට ඒ සඳහා වැඩි අවස්ථා විවෘත වී තිබෙන බව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
මෙම අවස්ථාවට කොරියානු කම්කරු හා රැකියා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මෙරට කොරියානු තානාපතිනිය ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.