වසර 2025ට පෙර ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව ශක්තිමත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය කරන ලද ආරාධනයකට ප්‍රතිචාර දක්වමින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ ඉහළ පෙළේ දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.
එම දූත පිරිසට මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ සම සභාපති සහ කැනඩාවේ ඔටාවා ප්‍රාන්තයේ මුදල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපත්ති අංශයේ සහකාර නියෝජ්‍ය ඇමැති ජූලියන් බ්‍රාසූ, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ විධායක ලේකම් ආචාර්ය ගෝඩ්න් හූක් සහ එහි අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ අධ්‍යක්ෂ ඩේවිඩ් ශැනොන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ඔවුන්ගේ මෙම සංචාරයෙහි ප්‍රධාන අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි (AML/CFT) රාමුවේ ඉදිරි අන්‍යෝන්‍ය ඇගයීම් කටයුතු සිදු කිරීමට පෙර ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයට තීරණාත්මක අවබෝධයක් ලබා දීමය.
මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බළකාය (FATF) යටතේ ඇති, ඒකාබද්ධ කලාපීය අධීක්ෂණ ආයතනයක් වන ආසියානු පැසිෆික් කණ්ඩායම, මුදල් විශුද්ධිකරණය (ML), ත්‍රස්තවාදී මූල්‍යකරණය (TF) සහ අතිවිනාශකාරී ආයුධ ව්‍යාප්තිය පිළිබඳ මූල්‍යකරණයට (PFWMD) එරෙහිව ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ දී සිය අධිකරණ බලතල මෙහෙයවීම පිළිබඳ සාමාජික රටවල්වලට අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වේ.
මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බළකාය විසින් කලාපීය වශයෙන් පිහිටුවා ඇති ආයතන නවයක් හරහා රටවල් 200ක පමණ එම අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බළකාය විසින් ශ්‍රී ලංකාව 2011දී සහ 2017දී වශයෙන් අවස්ථා දෙකකදී Òඅළු ලැයිස්තුවටÓ ඇතුළත් කර ඇති අතර, යුරෝපා සංගමය ද එම අනනුකූලතාවය හේතුවෙන් ශ්‍රී ලංකාව අසාදු ලේඛනගත කිරීමට කටයුතු කරන ලදි.
ශ්‍රී ලංකාව සඳහා වන තුන්වැනි අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාදාමය 2025 වර්ෂයේ මාර්තු මාසයේදී සිදු කිරීමට නියමිතය. එබැවින් ශ්‍රී ලංකාව, මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බළකාය ඉදිරිපත් කර ඇති නිර්දේශ 40 සමඟ තාක්ෂණික අනුකූලතාවක් ඇති කරගනිමින් ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මූල්‍ය සැපයීමට එරෙහි (AML/CFT) රාමුවේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත යුතුව ඇත.
දින තුනක් පුරා සිදු කරන ලද මෙම සංචාරය අතරතුර මෙම දූත කණ්ඩායම විසින් මෙරට ජනාධිපතිවරයා මෙන්ම විදේශ කටයුතු ඇමැතිවරයා, අගවිනිසුරු, නීතිපති සහ මහබැංකු අධිපති වැනි ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වන ලදි. එහිදී මෙරට බලධාරීන් ආර්ථික හා සමාජයීය ආරක්ෂාව සඳහා ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙම අන්‍යෝන්‍ය ඇගයීමෙහි පවතින වැදගත්කම පිළිබඳ අවධාරණය කරන ලදි.
මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බළකාය (FATF) විසින් ශ්‍රී ලංකාව “අළු ලැයිස්තුවට” ඇතුළත් කිරීමත් සමඟ ඇතිවී ඇති අහිතකර ආර්ථික ප්‍රතිවිපාක වළක්වා ගැනීම වෙනුවෙන් ඵලදායී ලෙස සූදානම් වීම සඳහා, ශ්‍රී ලංකාවේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීමේ සූදානම ද සඳහන් කෙරිණි.
ශ්‍රී ලංකාවට පවතින නිශ්චිත අවදානම් හඳුනා ගනිමින් ඊට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීම සඳහා මෙරට මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි පද්ධතියට ඇති හැකියාව පිළිබඳව ද අවධාරණය කෙරිණි.