වර්ජන රැලිවලට හසු නොවී, දේශපාලන න්‍යායපත්‍රවලට අනුව කටයුතු නොකොට, වෘත්තීය වගකීම රට වෙනුවෙන් ඉටු කළ සියලු දෙනාට ජාතියේ ගෞරවය පිරිනැමිය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ රත්මලානේ පිහිටි දුම්රිය ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය සහ වැඩබිමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
මෙහිදී ආයතන පරිශ්‍රයේ එක් එක් අංශවල කාර්යභාරය නිරීක්ෂණය කළ ඇමැතිවරයා ආයතනයේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහකද නිරත වූ අතර, නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද පැවසීය.
“සුවහසක් මගී ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා දැනට පවතින දුම්රිය එන්ජින් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. දුම්රිය 100ක් පමණ අවශ්‍ය වුවත් දැනට පවතින්නේ හැත්තෑවක පමණ ප්‍රමාණයක්. අලුත් දුම්රිය එංජින්, රේල් පීලි, අමතර කොටස් ගැනීමට විදේශ ණය ගැනීමේ අපහසුතාවක් පවතිනවා. විදේශ ණය මුදලක් ගැනීමකින් තොරව අලුත් දුම්රිය එංජින්, මැදිරි මිල දී ගැනීමේ හැකියාවක් නැහැ. “රත්මලාන දුම්රිය යාන්ත්‍රික වැඩපොළේ පවතින ගැටලු කිහිපයකට කඩිනම් විසඳුම් දිය යුතුයි. ආයතනය වඩාත් ඵලදායි ලෙස පවත්වාගෙන යෑම සඳහා, දැනට තිබෙන පැරණි දුම්රිය එංජින් ඇතුළු යන්ත්‍රෝපකරණ අලුත් වැඩියා කිරීම සඳහා ජර්මානු දුම්රිය තාක්ෂණික ආයතනය පුහුණුව ලැබූ තරුණ තරුණියන් සියයක් දෙසීයක් පමණ බඳවාගත යුතුයි. විදේශ විනිමය අර්බුදය නිසා ලබාගත නොහැකි වූ අමතර කොටස් ඇතුළු අංගෝපාංග දිය යුතුයි. ඒ අනුව මාස හයක පමණ කඩිනම් වැඩපිළිවෙළක් යටතේ නව දුම්රිය එංජින් විස්සක් පමණ ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙළක් සියලු දෙනාගේ දායකත්වය සහිතව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය සහ රජයේ අනුමැතිය ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
“මේ කර්මාන්ත ශාලාව තුළ දෙදහසක් තුන්දහසක් පමණ සේවක පිරිසක් රාජකාරියේ නිරතව සිටිනවා. දුම්රියේ හදවත බඳු වූ ඔවුන් කිසිදු අවස්ථාවක වර්ජනවලට දායක වී නැහැ.
වර්ජන රැලිවලට හසු නොවෙමින්, දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු නොකරමින් වෘත්තීය වගකීම රට වෙනුවෙන් ඉටු කිරීම පිළිබඳව ඔවුන්ට මගේ ස්තුතිය පිරිනමනවා. ආයතන වඩාත් ඵලදායි ලෙස පවත්වාගෙන යෑම පිළිබඳව සියලු තීරණ ගත හැකි වන්නේ අපට කොතරම් විදේශ ණය ප්‍රමාණයක් ලැබෙනවාද යන්න මත. ශ්‍රී ලංකාවේ කිසිම රජයකට එදිනෙදා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. සෑම රජයකම වර්තන ගිණුමේ හිඟයක් පැවතුණා. හිඟ අයවැය ලේඛනයක් යටතේ විදේශ ණය ආධාර වලින් තොරව රට පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. ඒ නිසා වසර ගණනාවක් පැරණි මේ ස්ථානයේ පවතින දුම්රිය කොටස් නැවත ප්‍රයෝජනයට ගතහැකි තත්ත්වයකට පත් කිරීම මුදල් නැතිව සිදු කළ නොහැකියි. රටේ සියලු දෙනා නීතියට අනුගතව කටයුතු කළ යුතුයි. ඒ අනුව පොදු මහජනතාවගේ යහපත වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් අනතුරුව සියලු දෙනා ඒ නීතියට අවනත විය යුතුයි.
“මගේ ඉල්ලීම පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවේ අනාගත කටයුතු පිළිබඳව නිර්දේශ දීමට විශේෂඥ කමිටුවක් පත් කර කටයුතු කරමින් පවතිනවා. මාස දෙකක් තුළ ඒ කමිටුවේ නිර්දේශ දීමට නියමිතයි. ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට අදාළ පත්‍රිකාවත් කඩිනමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. එ කමිටුවේ නිර්දේශ ගැනීමෙන් අනතුරුව කවරාකාර වෙනස්කමක් කළ යුතුද යන්න පිළිබඳ අවශ්‍ය තීරණ ගැනීමට අප කටයුතු කරනවා. දුම්රිය පෞද්ගලීකරණය කළ යුතුයි යන මතය ජනතාව තුළ විශාල ලෙස පැලපදියම් වී තිබෙනවා. ජනතාවටත්, දුම්රිය සේවකයන්ටත් මේ කමිටුව වෙත සිය අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. ඒ අනුව රටේ අනාගතයට යහපත් වන පොදු තීරණයකට එළඹීමට අප කටයුතු කරනවා“ යැයි පැවසීය.
දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්.ඩී.එස්. ගුණසිංහ මහතා, ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කේ.ඩී. හේවාවිතාරණ මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.