අවම වගා හානි වාර්තා වන, හරිතාගාරයන්හි එළවළු වගාව (Poly Tunnel Growing) ප්‍රචලිත කිරීම සඳහා මෙම වසර වෙනුවෙන් රජය රුපියල් කෝටි 50ක මුදලක් ලබා දී තිබේ.
මෙම වගාව සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක් වැය වන අතර, මෙරට සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි එක් දිස්ත්‍රික්කයකින් ගොවීන් 30ක් බැගින් තෝරා ගැනෙන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
හරිතාගාර වගාව සඳහා ගොවීන් උනන්දු කරවීම මෙහි අරමුණ වන අතර, ඒ ඒ දිස්ත්‍රික්කයන්ගෙන් තෝරාගන්නා ගොවීන්ට 50%ක සහනාධාරයක් වශයෙන් රුපියල් ලක්ෂ 05 බැගින් වූ මුදලක් ලබා දීමට සැලසුම් කර ඇති බවද කෘෂිකර්ම ඇමැතිවරයා කීය.
මෙහිදී එක් ගොවියකුට රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 05ක මුදලට අමතරව අදාළ වගා කටයුතු සඳහා වන ඉතිරි ලක්ෂ පහක මුදල අදාළ ගොවි මහතා විසින් දැරිය යුතුය.
විශේෂයෙන් එළවළු වගාවේ දී සිදු වන වගා හානි අවම වීම, ප්‍රමිතියකින් යුත් එළවළු වෙළෙඳපොළට සැපයීම සඳහා වසර කිහිපයක්ම මෙම Poly Tunnel ක්‍රමය යොදා ගැනීම සිදු කළ හැකි බැවින් ගොවි ජනතාවට හොඳ ආදායමක් ලබා ගැනීමට ද හැකියාව ලැබේ.
මෙම Poly Tunnel තුළ වගා කිරීමේ ව්‍යාපෘතිය, නව කෘෂි තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීමේ තවත් එක් පියවරක් බවත් Poly Tunnel තුළ වගා කිරීමේ ව්‍යාපෘතිය තුළ ප්‍රමුඛත්වය තරුණ පරම්පරාවට ලබා දෙන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
‘කෘෂිකර්මය සම්බන්ධව අද තරුණ ප්‍රජාව තුළ විශ්වාසයක් නැහැ. ඒ නිසා තරුණ පරපුර තුළ මෙරට කෘෂිකර්මාන්තය කෙරෙහි විශ්වාසය නැවත ඇති කළ යුතුයි. ඒ සඳහා අපි මෙම Poly Tunnel ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ඒ වගේම හැම දිස්ත්‍රික්කයකම එක ගම්මානයක් තෝරාගෙන එම ගම්මානය හරිතාගාර තුළ වගා කරන ආදර්ශ ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමත්, වගා කටයුතු සිදු කරන ගොවීන් එකම ජනතා ගොවි සමාගමක් යටතට ගෙන ඒමත් අපේ අරමුණයි. ඒ අනුව අතරමැදියන් නොමැතිව තම අස්වැන්න වෙළෙඳපොළට ලබා දීම හා පාරිභෝගිකයාට සාධාරණ මුදලකට අලෙවි කිරීමටත් මෙමඟින් අවස්ථාව සැලසෙනවා’ යැයි ද කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.