කොටි සාමාජිකයින් විසින් ඔවුන්ගේ බෙල්ලේ එල්ලා ගෙන සිටින සයනයිඩ් කරල් දෙකක් හා නිල ඇඳුම් කැබලි තොගයක් මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වළෙන් 13 දා හමු වීමත් සමඟම එම සමූහ මිනී වළේ මිහිදන් කොට ඇත්තේ කොටි සාමාජිකාවන් බව තහවුරු වී තිබේ.
මේ වන විට එම සමූහ මිනී වළෙන් කාන්තා කොටි සෙබළියන් නව දෙනෙකුගේ බවට සැකකෙරෙන ඇට සැකිලි පද්ධති හමු වී ඇති අතර තවත් මිනිස් ඇට සැකිලි විශාල ප්‍රමාණයක්ද හමු වී තිබේ. කොටි සාමාජිකයින් විසින් කරේ පලඳින හඳුනාගැනීමේ අංක තහඩු (ඩෝග් ටැග්) තුනක් ද අවි ආයුධ කොටස් පතරොම්, සයනයිඩ් කරල්, කාන්තා තනපට හා යට ඇඳුම්, කරාබු කැබලි හා තවත් කාන්තා උපකරණ රැසක් ද මෙම සමූහ මිනී වළෙන් හමු වී තිබේ. මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ අධීක්ෂණය යටතේ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් හා තවත් නිලධාරීන් රැසක් මෙම කැණීම් කටයුතුවලට සහභාගි වී සිටින අතර, මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා කැණීම් අධීක්ෂණය කරනු ලබයි.