Friday, May 16, 2025
Home » බටේපොළ වෙල අද්දර බෝක්කු කටේ අබිරහස් මළ සිරුරක්

බටේපොළ වෙල අද්දර බෝක්කු කටේ අබිරහස් මළ සිරුරක්

by mahesh
September 15, 2023 1:00 am 0 comment

ගම්පහ සමූහ ටෝනි කරුණානායක

ගම්පහ, කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ මල්වතුහිරිපිටිය පොලිස් වසමේ බටේපොළ පිහිටි වෙල අද්දර ජලය ගලා බස්නා පාලමක් යට ඇති බෝක්කු කටක් තුළ අබිරහස් අන්දමින් මිය ගොස් සිටියදී පෙරේදා (13) පස්වරුවේදී සොයාගනු ලැබූ දෙදරු පියාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එම මරණයට හේතුව එළඹෙන 27 වෙනිදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා ඊයේ (14) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත නියම කළේය.

මල්වතු හිරිපිටිය, බටේපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි මල්ලව ආරච්චිගේ බුද්ධික ප්‍රදීප් මල්ලවආරච්චි නමැති 43 හැවිරිදි පියා මරණකරු විය. එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මල්වතුහිරිපිටිය පොලිසිය පෙරේදා (13) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි. මල්වතු හිරිපිටිය පොලිසියේ නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ එම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා විසින් මරණය සිදුව තිබූ ස්ථානයේ දී පැවැත්විය.

මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයට පෙර මරණකරුගේ මළ සිරුර බිරිඳ, පුතා සහ සොහොයුරා විසින් හඳුනාගනු ලැබීය.

මරණකරු 12 වෙනිදා රාත්‍රියේ විදුලි පන්දම රැගෙන මල්වතු හිරිපිටිය නගරයට යන බව ඔහුගේ බිරිඳට දන්වා නිවසින් පිටව ගොස් ඇති බවත් පෙරේදා (13) දින දක්වා මරණකරු නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සහ අසල්වැසියන් එක්ව මරණකරුව සොයා ඇති බව පොලිසිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවසීය. මරණකරුගේ පුතා සහ සොහොයුරා මරණකරුව සොයමින් සිටියදී ප්‍රධාන මාර්ගයේ ඇති පාලම යට විදුලි පංකාවක් තිබෙනවා දැක ඒ ගැන සොයා බැලීමේදී මරණකරුගේ මළ සිරුර ඔවුනට හමු වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මළ සිරුර හමුවූ ස්ථානයේ සිට මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් යම් කිසිවක් පැවසීමට යමකු සිටී දැයි විමසනු ලැබීය. එහිදී ඉදිරිපත් වූ මරණකරුගේ සහෝදරයෙකු යැයි කියන මධුශාන් ප්‍රදීප් මල්ලවආරච්චි නමැති අය මල්වතු හිරිපිටිය නගරය තුළ සැලොන් එකක් පවත්වාගෙන යන පුද්ගලයා සමඟ මියගිය සොහොයුරා ආරවුලක් ඇති කරගෙන තිබූ බවත් ඒ හේතුවෙන් මෙම මරණය සැක සහිත බව වැඩ බලන මහේස්ත්‍රාත් හමුවේ පැවසීය. අධිකරණ නියෝග මත පොලිස් ආරක්ෂාව යටතේ එම මරණකරුගේ මළසිරුර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත පෙරේදා (13) රාත්‍රී රැගෙන එනු ලැබීය. සැකකටයුතු මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (14) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. මහේස්ත්‍රාත් පරීක්ෂණය එළඹෙන 27 වනදාට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වීමට නියම විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT