Sunday, May 11, 2025
Home » ඇල්පිටිය සුසාන භූමියේ මළ සිරුරක් වළ දාන්න රු 24000ක ගාස්තුවක්

ඇල්පිටිය සුසාන භූමියේ මළ සිරුරක් වළ දාන්න රු 24000ක ගාස්තුවක්

by mahesh
September 15, 2023 1:00 am 0 comment

ඇල්පිටිය සමූහ - චන්ද්‍රසිරි ගුණසේකර

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් සුසාන භූමියේ මළ සිරුරක් භූමදානය කිරීම සඳහා රුපියල් 24000/- මුදලක් අය කර ඇති බවත්, එය නීත්‍යානූකූල නොවන බවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී රංජිත් ජයසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා එම ප්‍රකාශය කළේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මාසික රැස්වීම අමතමිනි.

ප්‍රාදේශීය සභා සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් 13දා ඇල්පිටිය ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී එම මාසික රැස්වීම පැවැත්විණි. එහිදී කතාකළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී (පො.ජ.පෙ.) රංජිත් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ඇල්පිටිය විජය මාවතේ පදිංචිව සිටි සුධර්මා ලොකුකුමාර මහත්මිය ඇල්පිටිය හා කරාපිටිය රෝහල්වල දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර, ඇයගේ මළ සිරුර භූමදානය කරන ලෙස එම මරණ පරීක්ෂණය පැවැත්වූ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් තීරණය ලබාදී තිබූ බවයි.

ඒ අනුව ඇගේ දරුවන් විසින් ඒ සඳහා ප්‍රාදේශීය සභා සුසාන භූමිය ලබාදෙන ලෙස ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලිමක් කර ඇති බවත් එවිට සභාවෙන් ඒ සඳහා රුපියල් 24000/-ක් ලබාගෙන එම අවසරය ලබා දී ඇති බවත්ය.

මෙය නීත්‍යනුකූල නොවන බවත්, එය ප්‍රාදේශීය සභාවට ද අපකීර්තියක් බවත් රංජිත් ජයසිංහ මහතා පැවසීය.

එසේ සුසාන භූමිය වෙන්කර දීමේදී මුදලක් අය කළ හැක්කේ මළ සිරුරක් භූමදානය කිරීමේදී නොව තැන්පත් කිරීමකදී පමණක් බවත්, එවිට වර්ග අඩියකට රුපියල් 1000/- බැගින් අය කිරීමට ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බව ද රංජිත් මහතා පැවසීය.

පසුව සභා ලේකම්වරිය විසින් එම ගැසට් පත්‍රය ද සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායක භාතිය ලියනආරච්චි මහතා (එ.ජා.ප.) කියා සිටියේ මෙය සම්පූර්ණයෙන් නීත්‍යනුකූල තත්ත්වයක් නොවන බවත්, මළ සිරුරක් තැන්පත් කිරීමකදි හැර භූමදාන කිරීමකදී මුදලක් අය කළ නොහැකි බවත්ය. ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී නිශාන්ත පෙරේරා සහ පොදුජන පෙරමුණු මන්ත්‍රී කේ. ඒ. ඩී. සුමිත් යන මහත්වරු පවසා සිටියේ මීට පෙරද අවස්ථා කිහිපයකදී සභාව විසින් මේ අයුරින් මළ සිරුරු භූමදානය සඳහා මුදල් අය කිරීම් කර තිබෙන බවය.

මෙහිදී අදහස් දැක්වූ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා කියා සිටියේ මරණ පරීක්ෂකවරයා විසින් මෙම මළ සිරුර භූමදානය කරන ලෙස තීරණය ලබාදී තිබූ නිසා ඉදිරියේදී කිසියම් හේතුවක් මත මෙම මළ සිරුර ගොඩගැනීමට සිදුවුවහොත්, එසේ ගොඩගැනීමට එම මළ සිරුර තිබෙන ස්ථානය සොයා ගැනීමට අවශ්‍ය වන නිසා තමන් මෙම පියවර ගත් බවත්ය.

කෙසේ නමුත් මේ පිළිබඳව ඊළඟ මාසික සභා රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර අවශ්‍ය විසඳුම් ලබා ගැනීමට ද මෙහිදී තීරණය විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT