නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කොටස් එකලස් කර නිපදවූ බවට සැකකර වලාන පොලිස් දූෂණ මර්දන ඒකකය විසින් පසුගියදා කුරුණෑගලදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථය විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි බව කියන කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු රුපියල් විසිපන් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා (14) නියම කළේය.
කුරුණෑගල දකුණු වැව රවුම් පාරේ අනුරුද්ධ ශ්‍රීලාල් පෙරේරා නමැති ව්‍යාපාරිකයෙකු එසේ ඇප මුදා හැරීමට නියම කෙරිණි.
මෙම සැකකටයුතු ජීප් රථය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි සැකකාර ව්‍යාපාරිකයා නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වීමෙන් අනතුරුව එසේ ඇප මත මුදා හැරිණි.
අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරන කොළඹ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකුට අයත් මෙම සුඛෝපභෝගී ජීප් රථය වාහන ආනයනය තහනම් කර තිබෙන කාලයේදී මෙරටට කොටස් ගෙන්වා එකලස් කරන ලද්දක් බව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය සඳහන් කළේය. එසේ නීති විරෝධීව සකසන ලද මෙම ජීප් රථය වැඩි මිලකට විකිණීම සඳහා වෛද්‍යවරයා විසින් කුරුණෑගල පදිංචි සැකකාර ව්‍යාපාරිකයා වෙත ලබාදී තිබියදී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කීර්ති ජී. දුනුසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම ජීප් රථය රුපියල් කෝටි අටක් පමණ ඉහළ වටිනාකමකින් යුත් බවට පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද වී එයිට් වර්ගයට අයත් මෙම ජීප් රථයක වර්තමාන වෙළඳ පොළ වටිනාකම රුපියල් කෝටි තුනක් පමණ වන බවත්ය.
එසේම මෙම ජීප් රථය තම සේවාදායකයා වෙත ලබා දුන් වෛද්‍යවරයා එය මිලදීගෙන තිබුණේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරන සමථ නිලධාරියෙකුගෙන් බව ද වාහනයට අයත් පිළිගත් ලියාපදිංචි සියලුම ලිපි ලේඛන එම පුද්ගලයා නමින් ඇති බව ද නීතිඥ දුනුසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙය නීති විරෝධී වාහනයක් බව නොදැන තම සේවාදායකයා සහ වෛද්‍යවරයා කටයුතු කර ඇති බැවින් ඔවුන් මෙහිදී වරදක් සිදු කර නැති බව ද දුනුසිංහ මහතා ප්‍රකාශ කළේය.
එසේම මෙවැනි වාහනයක් මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කිරීමට පෙර ඒ සඳහා කටයුතු කළ යුත්තේ රේගු දෙපාර්තමේන්තුව විසින් බව පෙන්වා දුන් නීතිඥවරයා රේගු ආඥා පනතේ 127, 129 වගන්ති අනුව ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය රේගුවට මිසක පොලිසියට නොමැති බව ද සඳහන් කළේය.
ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා සැකකාර ව්‍යාපාරිකයා ඇප මත මුදා හැර අත්අඩංගුවට ගත් ජීප් රථය රේගුවට ඉදිරිපත් කරන තෙක් පොලිසිය භාරයේ රඳවා තැබීමට නියම කළේය. නැවත නඩුව ලබන මස 13 වැනි දින කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.