Home » ජන­පති රනිල් කියු­බා ජන­පති හමු වෙයි

ජන­පති රනිල් කියු­බා ජන­පති හමු වෙයි

by Gayan Abeykoon
September 16, 2023 1:29 am 0 comment

‘G77 කණ්ඩායම සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබා ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Díaz-Canel Bermudez) මහතා අතර නිල හමුව පෙරේදා (14) පස්වරුවේ සිදු විය.

කියුබාවේ ‘විප්ලවයේ මාලිගාව’ වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබා ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරද පිරිනැමිණි.

ඉක්බිති සුහද කතාබහක යෙදෙමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පැමිණීම ඉතා ඉහළින් පිළිගන්නා බව සඳහන් කළ කියුබානු ජනාධිපතිවරයා දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ වටිනාකමද සිහිපත් කළේය. අතීතයේ සිට ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පැවති ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගිතාව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ යෝජනාවට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සහාය දුන් බවත්, කියුබාව මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් බහුපාර්ශ්වික වේදිකාවල ශ්‍රී ලංකාවට සහාය දක්වා ඇති බවත් සිහිපත් කළේය.

නායක දෙපළ ඉන් අනතුරුව ඉදිරියේදී සෞඛ්‍ය, කෘෂිකර්ම සහ ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගිතාව ඉහළ නංවාගැනීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. ගෝලීය වශයෙන් උතුරු-දකුණු රටවල් අතර විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රවල පවතින පරතරය අවම කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විශේෂඥ දැනුම බෙදාගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

ජාත්‍යන්තර කටයුතුවලදී කියුබාවට ශ්‍රී ලංකාවේ සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළ අතර මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය දෙන බවට කියුබානු ජනාධිපතිවරයා සහතික විය. එසේම ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනය කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනල් බර්මියුඩෙස් මහතා පිළිගත්තේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජයවර්ධන, කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ බහුපාර්ශ්වික කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් රේඛා ගුණසේකර, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT