රට වැටී තිබෙන තැනින් ගොඩ ගැනීමට කැප වී කටයුතු කරන පිරිස් බිය වද්දමින් රට නැවත අරාජික බවට පත් කිරීමට තැත් කරන පුද්ගලයන් පිළිබඳ දීර්ඝ වශයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
තමා සම්බන්ධව ඉදිරිපත්ව තිබෙන අල්ලස් චෝදනාව පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඇමැතිවරයා විසින් ඊයේ (15) පෙරවරුවේ කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා:
“ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත වෘත්තිය සමිති නොවන පුද්ගලයන් කිහිපදෙනකු විසින් ක්‍රියාත්මක කරන ලද වර්ජනයක් හේතුවෙන් වටිනා තරුණ ජීවිතයක් අහිමි වී විශාල ව්‍යසනයක් සිදු වුණා. මේ සිදුවීමෙන් පසු රජය විසින් අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කර දුම්රිය යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව ඊයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු, දුම්රිය නිල නිවාසවල පදිංචිව සිටින සේවකයෙකු වන ඉන්දික දොඩම්ගොඩ නමැති මහතකු මේ සියලු දේ සිදු වන්නේ ඇමැතිවරයාගේ වංචනික, දූෂිත, අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් බවට මතයක් සමාජගත කර, ඒ මඟින් ජනතාවගේ වෛරය අප වෙත හැරවීමට දරන උත්සාහය පිළිබඳව මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා.
මීට අමතරව ටෙන්ඩර් කැඳවීමකින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු කළ බවටත් චෝදනා කරනවා. මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඉන්දීය සමාගම් වෙත දී ඇති ටෙන්ඩර් 2015, 2016, 2019 වසරවල සිදු කරන ලද ඒවා. මාගේ නිවෙසට ගිනි තැබීමෙන් අනතුරුව මේ අමාත්‍යාංශයේ වගකීම භාර ගත්තේ 2022 වසරේදී. ඒ කාලපරිච්ඡේදයේ කිසිදු ටෙන්ඩරයක් දී නැහැ. අප විසින් සිදු කර තිබෙන්නේ නතර වී තිබුණු කටයුතු කඩිනම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය
ගැනීම පමණයි. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්, රට වැටී තිබෙන තැනින් ගොඩ ගැනීමට කැප වී කටයුතු කරන පිරිස් බිය වද්දමින් රට නැවත අරාජික බවට පත් කිරීමට තැත් කරන පුද්ගලයන් පිළිබඳ දීර්ඝ වශයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස මා ඉල්ලීමක් කළා.
මීට අමතරව මේ සමාගම්වලින් මා හට කෝටි පහක අල්ලසක් දීමක් පිළිබඳ චෝදනාවක් එල්ල කර තිබෙනවා. ඒ පිළිබඳවත් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.
හිරු ටීවී නාලිකාවේ 09/14 දින දහවල් 11.55 ප්‍රවෘත්ති විකාශයෙන් පැවති වර්ජනය අවසන් කිරීම පිළිබඳව ප්‍රකාශ නිකුත් කරන්නේ මේ සේවකයා විසින්. එහිදී ඔහු විසින් ප්‍රකාශ කරන ලද සෑම වචනයක් පිළිබඳවම, වෛරය පැතිරවීම සඳහා ද්වේෂ සහගත ලෙස හිතාමතා ඕනෑකමින් සැලසුම් සහගත ලෙස ප්‍රකාශයක් හේතුවෙන් ඒ පිළිබඳ අපක්ෂපාතී, කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා.
මිනිස් ජීවිතයක්ද අහිමි වී තිබෙන වටපිටාවක රටේ ඕනෑම පුරවැසියකුට එරෙහිව මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් සිදු කරනුයේ නම්, කිහිප දෙනකුගේ අවශ්‍යතාවන් මත රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරමං වන ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් මගින් වෘත්තීය සමිති ත්‍රස්තවාදය ඇති කිරීමට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ පියවර ගනු ලැබුවා. එවැනි තත්ත්වයක් මත ඒ වෛරය අප වෙත හැරවීමට උත්සහ කරනවා නම් රජයක් ලෙස ඊට ඉඩ දීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා මහජනතාව දැනුවත් කර යුක්තිය ඉටු විය යුතුයි.
විදේශ සංචාරයන් සඳහා ඇමතිවරයා වෙත වෙන් කරන මුදල්වලින් ඉතිරි වන මුදල් නැවත රජයට භාර දී රිසිට් පතක් ගන්නා එකම අමාත්‍යවරයා මා යැයි මා සිතනවා. නිරත වූ සෑම සංචාරයකදී මේ ඉතුරු වූ මුදල් ලක්ෂ ගණනක් මා එලෙස නැවත භාර දී තිබෙනවා.