Home » මහාකෙරුමෝ

මහාකෙරුමෝ

by gayana
September 16, 2023 1:00 am 0 comment

පෙරේදා තරගයේ අන්තිම පන්දුව සජීවී ආකාරයෙන් බලන විට බොක්ක උණුවීම වනාහි ක්‍රිකට් නොවේ. මේ පොළොව පිළිබඳව ඇති කැක්කුමය. ජාතිය ගැන ඇති ඔද වැඩී ගිය ප්‍රේමයය. මධුෂාන් දැවී ගියේ අසලංක දුරදිග නොසිතා, දිව යෑම බව ඒ මොහොතේ අපට සිතුණි. පන්දු තුනට ලකුණු හයක් වුවමනා ඒ මොහොතේ, පිත්තේ නොවැදී කඩුලු රකින්නා වෙත ඇදී යන පන්දුවට ලකුණු ලබාගැනීම සඳහා එහා පැත්තේ සිට දිවවිත් අසලංක කළේ වරදක් දැයි සිතන්නටවත් නොහැකි තැනට අප වික්ෂිප්තව සිටි බව ඇත්තය. අසලංකගේ දුරදිග බැලීම ඊළඟ පන්දු දෙකේ අප තේරුම් ගත්තෙමු. එහෙම නොවුණා නම් හෙට ඛෙත්තාරාමයේ හමුවන්නේ ඉන්දියාව සහ පාකිස්ථානයය. හෙට ආයෙත් බොක්ක රත් කරගත යුතු හෙයින් ක්‍රිකට් කතාව ‘ජය බන්දා ලොවේ…’ යන පද මුමුණා, දැනට අහවර කරමු.

මැච් එක යන මැද්දේ වැස්ස දෙතුන් වතාවක් පහත් විය. ඛෙත්තාරාමයට වහින අතරේ, ඊට මෙහා හන්දිය වූ මරදානේ ආසිරි මල් වසින්නට වූයේ, රාජ්‍ය සාහිත්‍යය සම්මාන ප්‍රදානය පැවති හෙයිනි.

‘ආනන්දයෙන් ප්‍රඥාවට’ යන්න ලියා තැබූ ප්‍රාඥයාට සාහිත්‍ය රත්න ගෞරවය ලැබීම වූ කලී මෙවර සාහිත්‍ය සම්මාන උලෙළේ විශිෂ්ටම ඇගැයීම බව අපේ හැඟීමය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සුධීමතුන් වෙත දක්වන ලද, ඒ ගෞරව සමාචාරය වෙත අපිදු හිස පහත් කර ගෞරව කරන්නෙමු.

රොබට් ෆ්රෝස්ට් කවියාගේ නිබන්ධයක් සිංහලට නැඟීමේදී ‘From delight to wisdom’ යන ඉංග්‍රීසි පාඨය සිංහලෙන් යෙදිය යුත්තේ කෙසේදැයි සුනන්ද මහේන්ද්‍රයෝ, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් විමසූහ. එවේලේ සරච්චන්ද්‍රයන්ගේ මුවින් ‘ආනන්දයෙන් ප්‍රඥාවට’ යන සිංහල පාඨය ගිලිහුණේ තත් ක්ෂණයකිනි. වගවිමසා නියැළෙන ශාස්ත්‍රීය කාර්යයක ඵලදායි බව පසක් කරමින් අද ද කලාව උදෙසා ඇති බහුල භාවිතාව සහිත නිර්වචනය උපදින්නේ එසේය.

ඊළඟට මහාචාර්ය ජී. එච්. පීරිස්හුය. එතුමාණෝ විෂය ලෙස භූගෝල විද්‍යාව වියතෙකි. ඒ සියල්ල ඉක්මවා ගිය පර්යේෂකයෙකි. ජනපදකරණය ලෙස උතුරේ සහ නැ‍ඟෙනහිර, ජනයා පදිංචි කිරීම හඳුන්වාදුන් දෙමළ වර්ගවාදීහු කලක් තිස්සෙම දොඩව දොඩවා ගියේ, එය දෙමළ ජාතියට වූ අසාධාරණයක් ලෙසය. මේ සඳහා ඔවුහු ඉල්ලා සිටියේ ෆෙඩරල්ය. ජනපදකරණය වනාහි එවැන්නක් නොවන බව සාධක ඇසුරෙන් ගොඩ නඟා ශාස්ත්‍රීය ආකාරයෙන් නිබන්ධනයක් ගොනුකළෝ, මහාචාර්ය ජී. එච්. පීරිස්හුය. ෆෙඩරල් ක්‍රමය වනාහි අසාර්ථක රාජ්‍ය පාලන රාමුවක් බව ද එතුමෝ තවත් නිබන්ධනයක් ඉදිරිපත් කළහ. එතුමාණෝ ද සාහිත්‍ය රත්න ප්‍රණාම ලද්දාහ.

මේ මහාචාර්ය දෙපළ වනාහි මේ රටේ නූතනයේ සිටින ‘මහාකෙරුමෝ’ දෙදෙනකි. අද මාධ්‍ය අවකාශයේ ලීඩ් නිව්ස් මවන්නේ හරක් කටාය. නැති නම් තවත් පාතාල ජඩයෙකි. ඒවාද පුවත්ය. එසේ වෙද්දී මාධ්‍ය අවකාශයේ මෙවැනි සුධීමතුන් සඳහා ඉඩ හසරක් නැතිම ගානය. එක්කෝ ඒවා මාකට් නැතිවා වෙන්නට ඇත. යූ ටියුබ් නාලිකා ගත්තද එක්කෝ යම් ලිංගික ගතිකයක් සහිත කුණු කතාය. ඕපේ සඳහා ළිංතොට දැන් යල්පැන ඇති හෙයින් ෆේස් බුකිය ළිංපඩිය බවට පත්ව තිබේ. රටේ ඇති සියලු ඕපයන් දිගහැරෙන්නේ ඒ තුළය. ඒ අනුවම හැසිරෙන මහා මාධ්‍යය ද මෙවැනි විද්වත්හු ගැන සඳහන් කරන්නේ ඉඳ හිට හෙයින්, හැදෙන ළමයෙක් සඳහා මෙවන් වියත්හු ආදර්ශයක් වන්නේ නැත. ආදර්ශයක් වීමට පළමුව දැනගත යුතුය. දැන ගන්නා දෙයින් සහ ඇසුරෙන් ආදර්ශය සැපයෙන හෙයින්, මේ පරපුර හරක් කටාලා බවට පත්වනු ඇත්තේය.

සාහිත්‍ය මාසය ආරම්භ වී අඩක් පමණ දැන් ගෙවී ගොස් ද තිබේ. සාහිත්‍ය ප්‍රබෝධයක් මේ කාලයේ ඇත්තටම තිබේ. ක්‍රිකට් සැණකෙළිය ද අපේ ජාතිය එක මිටට ගෙනඑන එකම දෙය බැවින්, ඒ සඳහා ද මේ මාසයේ කාලයක් වැය වී තිබේ. එහෙම බලන විට සැප්තැම්බර් මාසය වාසනාවන්තය. ක්‍රීඩාව සහ සාහිත්‍ය කියන්නේ මිනිසා උත්තර රසයක්, වින්දනයක් කරා ගෙන යන දේය.

අප ද යමක් දෙස බලන්නට, දැන් දැන් පුරුදු වී ඇත්තේ රුයිතයටමය. ඊට හේතුව මේ ද්විත්වය දුරස්වීම නිසාය. හැමදේම ඇදයටම පෙනෙන සමාජයක් යනු ‘ඇඳ යට’ චින්තනයෙන් යුක්ත

වන්නෙකි. මෙට්ටය කොට්ටය සහිතව පැහැදිලි අවකාශයක සයනය කළ හැකි කල්හි, සමහරෙක් රිංගන්නේම ඇඳ යටටය. ඒ බියගුලු බව නිසාය. වැරදිකාරයාට මිස ඇඳ යට අවශ්‍ය වන්නේ, හූනන්, මකුළුවෝ ආදීන්ටය. ඇඳ යට සැඟවුණු කල්හි එහෙට මෙහෙට යන හැම එකාම පේන්නේ සැකයෙන්මය. පෙනෙන අවකාශයද සමස්තයෙන් අරික්කාලක් පමණය. දකින පංගුවෙන් මැවෙන දෙය, ඒ යෝධයා වෙනස් කතා කලාප සිතේ මවාගන්නට යොදාගන්නේය. පීඩිතභාවයේ සිට එහෙම ලෝකය බලන යමෙකු ඉන් මුදාගෙන ‘උඩට ගත හැක්කේ’ සාහිත්‍යයට සහ ක්‍රීඩාවටය. පෙරේදා පැවති රාජ්‍ය සාහිත්‍ය ප්‍රදානයේදී හතළිස් දෙකක පමණ ලේඛක කලාපයක් සම්භාවනාව සඳහා පාත්‍ර වූහ. ඒ සියල්ලෝ අපේ කාලයේ වීරයෝ වන්නාහ.

හෙට රාත්‍රියේ ආසියානු ක්‍රිකට් වීරයෝ වෙන සිහිනය සයනය මත සිට දකිමින් අදට මේ තීරුවේ වග හමාරය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT