Home » වියැකී යන සම්ප්‍රදායික පලා වර්ග ගැන අලුත්ම පරීක්ෂණයක තොරතුරු හෙළිවෙයි

වියැකී යන සම්ප්‍රදායික පලා වර්ග ගැන අලුත්ම පරීක්ෂණයක තොරතුරු හෙළිවෙයි

by yasara
September 16, 2023 10:08 pm 0 comment
murungalka

ශ්‍රී ලාංකේය ජන සමාජය ගෝලීයකරණය හා බටහිරකරණය (පරිභෝජනවාදය) කරා වඩාත් වේගයෙන් යොමුවීමත් සමග සිය අනන්‍යතාවය වූ සරුසාර සංස්කෘතික හර පද්ධතීන් මහා සමාජ භාවිතයෙන් ඉවත් වෙමින් තිබීම නිශ්චිත වූ ප්‍රථිපලයකි. මේ නිසා තම අනන්‍යතාව පිළිබිඹු කළ ආහාර, විහරණ (ඇවතුම් පැවතුම්) හා අධ්‍යාත්මය කියනා තෙවැදෑරුම් පදනමක් සහිත ජීවන ක්‍රමය පරම්පරා කීපයක් ඔස්සේ ක්‍රමානුකූලව බටහිරවාදී නූතනකරණයෙන් යටපත් විය. ජීවන ක්‍රමය, සංස්කෘතිය පරිභෝජනවාදයෙන් යටවීමත් සමග පිරිහෙන අධ්‍යාත්මය නිසා විවිධ රෝගාබාධ බහුල වීම හා රෝග සඳහා ඔරොත්තු දීම හීන වීම පුදුමයට කරුණක් නොවේ.

එහෙයින් මෙරට වූ සාම්ප්‍රදායික දැනුම හා භාවිතය මහා සමාජයට හා ලෝක සමාජයට නිරාවරණය කරමින්, නිරෝගී නැණ ගුණ පිරි සිය අනන්‍යතා නැමති මුදුන් මුල සහිත ශ්‍රී ලාංකීය සමාජය නගා සිටවීම කෙරෙහි කටයුතු කිරීම යුග මෙහෙවරකි. අතීත ජන සමාජය අපේ මුතුන්මිත්තන් මහා වැව් ඉදිකළේ, මහා ශෛලමය ඉදිකිරීම් කළේ යුරෝපීය ආහාර හා පළා වර්ග ආහාරයට ගැනීමෙන් හෝ රසායනික පොහොර භාවිතා කරමින් කළ ගොවිතැන අනුව නොවේ. සිය ප්‍රදේශයේ භූමිය තම ආහාර සහ ඖෂධ සපයා ගැනීම සඳහා භාවිතා කිරීමේ විද්‍යාවක් ඔවුන් සතු විය. අපෙන් අතහැරී ගිය අපේ විද්‍යාව අපේ ආහාර රටාව නැවත මතුකර ගත යුතුය. එම දැක්ම හා  උද්යෝගයෙන් නිදහස් අධ්‍යාපනයෙන් ලද වරප්‍රසාදය සමාජ මෙහෙවර උදෙසා වූ සිය සත්කාර්ය ඉටු කිරීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ රසායනවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ඇම්.ඒ.බී ප්‍රශාන්ත හා මහාචාර්ය පහන් ගොඩකුඹුර විසින් අප භාවිතයෙන් දුරස් වෙමින් තිබෙන පළා වර්ග නැවත සමාජ භාවිතාවයට ගැනීම පිළිබඳව යම් සොයාබැලීමක් සිදු කර ඇත.

මේ සදහා නාවින්න ආයුර්වේද  රෝහලේ වෛද්‍ය කුසුමානන්ද හා මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍ය පාලිත රණසිංහ  මහත්වරුන්ගේ අදහස් ද උපයෝගී කරගන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිපුන් බන්ඩාර අටුගොඩ විසින් සිය රසායනවිද්‍යා විශේෂවේදී උපාධිය පිණිස සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු ආශ්‍රිතව වූ පළා වර්ග විස්සක් පමණ අධ්‍යනය කර තිබෙයි. ඒ අනුව හෙළිදරව් වූ දැනුම තුලින් එම ශාක සතු පෝෂණ ගුණයන් පිළිබද අවබෝධයක් ලබා ගත හැකි වනවා පමණක් නොව එම පළා වර්ග කෙරෙහි අවධානය යොමු කරමින් ඉතා පහසුවෙන් ගෙවතු වගාවක් ලෙස තම ගෙවතු ඉඩකඩ හා පෝච්චි භාවිතා කර මෙම පළා වර්ග වගා කළ කරගැනීමටත් හැකියාව ලැබේ. එය ලාභදායි ලෙස තම පෝෂණ අවශ්‍යතාව පහසුවෙන් සපයා ගැනීමටත්, මානසික සුවය පිණිසත් හේතු වේ. ඇතැම් පළා වර්ග මැල්ලුම් ලෙස ආහාරට ගනු ලබන අතර ඇතැම් පළා වර්ග කැද පිණිස පමණක් යොදා ගනු ලැබේ. එබැවින් මෙම පළා වර්ග ආහාරයට ගැනීමට සුදුසු ආකාරය, සුදුසු සෘතු පිළිබඳව, විවිධ රෝග පිඩා සදහා ප්‍රත්‍ය අප්‍රත්‍ය පිළිබදව හා තව බොහෝ කරුණු සොයා ගැනීමට ඔබටත් මග විවර වන බව නොඅනුමානය.

මෙම අධ්‍යනයට ගස් කරල් හැබ, කිරි හැන්ද, එරබදු දළු, ලුණුවිල, කීකිරිදිය, ඇත්තෝර, පැණිතෝර, පෙතිතෝර, රනවරා, තිත්ත අගුණ, කිරි අගුණ, අස්වැන්න, මුරුංග, මොනරකුඩුම්බිය, ඉරමුසු, ඉරිවේරිය, කූරතම්පලා, කැබැල්ල, කැහිපිත්තන්, ගිරාපලා, ගොනිකා හා මියෙන දළු යොදා ගෙන තිබෙයි.

රස, ගුණ වීර්ය විපාක හා ප්‍රභාව අනුව ආයුර්වේද ග්‍රන්ත ආශ්‍රිතව මෙම පලා වර්ගයක් පිළිබඳව ඖෂධීය වටිනාකම හා විවිධ රෝග සඳහා මෙම එක් එක් පැලෑටි හි යෙදීම දක්වා ඇත.

ආහාරයේ වූ තන්තු ආහාර ජීර්ණය උත්තේජනය කරන අතර බඩවැල් ආශ්‍රිත ක්‍රියාකාරිත්වයට ඉතා වැදගත් ය. මෙම අධ්‍යනයට ලක් කළ පළා ආශ්‍රිතව වූ තන්තු ප්‍රමාණය ආසන්න වශයෙන් 9% – 14% වැනි පරාසයක පවති. වැඩිම තන්තු ප්‍රමාණයක් ගස් කරල් හැබ හි ඇති අතර අඩුම ප්‍රමාණයක් ගොනිකා හි ඇත. යකඩ ඌනතාව නිසා හටගන්නා රක්තහීනතාවයට ගොදුරු වීමෙ නැඹුරුවක් මෙරට සමාජයේ ඇති බැව් අසන්න ලැබේ. මෙම පළා ආශ්‍රිතව වූ යකඩ ප්‍රමාණය අනුව  යකඩ ඌනතාවය සදහා කදිම පිළිතුරු අප සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු තුළ තිබූ බැව් පෙනී යයි.

මෙම පළා හි වියලි බර ග්‍රෑම් එකක් තුළ යකඩ මයික්‍රො ග්‍රෑම් (µg/g) ප්‍රමාණය 39 – 335 වැනි පුළුළ් පරාසයක පවති. මුරුන්ගා හි අඩුම යකඩ ප්‍රමාණයක් ඇති අතර ගොනිකා, මියෙන දළු, ඇත්තෝර, අස්වැන්න, එරබදු දළු ආශ්‍රිතව සැලකිය යුතු යකඩ ප්‍රමාණයක් ඇත. රණවරා හි යකඩ වැඩිම ප්‍රමාණයක් (335 µg/g) ඇති අතර කූරතම්පලා, කැබැල්ල, ලුනුවිල හා ගස් කරල් හැබ ආශ්‍රිතව යකඩ ප්‍රමාණය ඉහල පරාසයක ඇත. යුරෝපීය එළවලුවක් වන ගෝවා හි මෙම ප්‍රමාණය 47 µg/g පමණ වේ, ලීක්ස් හි එම අගය 72 µg/g පමණ වේ.

ලෝක ජනගහනයෙන්  17% සින්ක් ඌනතාවයෙන් පෙළෙන බැව් වාර්තා වන අතර දකුණු ආසියාවේ එය 30% තරම් යැයි වාර්තා වේ. කෙසේවෙතත්, මෙම පළා වර්ග ආශ්‍රිතව වූ සින්ක් ප්‍රමාණය 13 – 69 µg/g වැනි පරාසයක පවතින හෙයින් සින්ක් ඌනතාවය මගහැර ගැනීම පිණිස මෙම පළා වර්ග උපයෝගී කර ගත හැකිය.  මුරුන්ගා, ගොනිකා හා  මියෙන දළු ආශ්‍රිතව සාපෙක්ෂව අඩු පරාසයක (13-17 µg/g) ද කිරිහැන්ද, කිරි අගුන, ගිරාපළා, තිත්ත අගුන, පැණි තෝර ආශ්‍රිතව 31 – 37 µg/g වැනි පරාසයක සින්ක් පවති.  කූරතම්පලා, කීකිරිදිය, කැබැල්ල, ලුනුවිල මොනරකුඩුම්බිය හා රනවරා ආශ්‍රිතව ඉහල පරාසයක (41 – 70 µg/g) සින්ක් පවතින බැව් පෙනී යයි. අපි බොහෝවිට ආහාරයට ගන්නා ගෝවා හි මෙම ප්‍රමාණය 14 µg/g පමණ වේ, ලීක්ස් හි එම අගය 39 µg/g පමණ වේ.

අස්ථි වර්ධනය වන කාළයේදී  කැල්සියම් අවශ්‍ය සංඝටකයකි. මෙම පළා අතුරින් කූරතම්පලා හි කැල්සියම් ඉතා ඉහල මට්ටමක පවති, දෙවනුවට මොණරකුඩුම්බිය  ආශ්‍රිතව කැල්සියම් ඉහල මට්ටමක පවති. ගොනිකා ආශ්‍රිතව ආසන්න වශයෙන් 3975 µg/g ප්‍රමාණයක් හා ගිරාපලා ආශ්‍රිතව ආසන්නව 2135 µg/g ප්‍රමාණයකින් කැල්සියම් ඇත. මුරුන්ගා, ඇත්තෝර, රණවරා හා ලුනුවිල ආශ්‍රිතව ඇති කැල්සියම් ප්‍රමාණය ගොනිකා හා ගිරා පළා වලට වඩා වැඩිය. අධ්‍යනයට ලක් කළ ඉතිරි පලා ආශ්‍රිතව ආසන්නව 1000 – 1100 µg/g වැනි පරාසයක කැල්සියම් පවතී. ගෝවා ආශ්‍රිත කැල්සියම් ප්‍රමාණය 2384 µg/g පමණ වේ.

ආතරයිටිස්, පිළිකා, දියවැඩියාව, ස්නායු විකෘතිතා ආබාධ, ඇසේ සුද, ඔක්සිකාරක කාංසාව නිසා ඇතිවන රෝග (Oxidative anxiety-induced diseases) වලක්වා ගැනීම පිණිස ආහාරයේ පවතින ප්‍රතිඔක්සිකාරක මහගු සේවයක් ඉටුකරනා සංරචකයක් ලෙස සලකයි.  IC50 ලෙසට ප්‍රතිඔක්සිකාරක අගයක් මැන දක්වයි. මෙම අගය අගය අඩුනම් ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වය වැඩිය. ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වය සැලකූ විට මුරුන්ගා ආශ්‍රිතව එම ක්‍රියාකාරිත්වය සැලකිය යුතු තරම් ඉහල මට්ටමක (12.68 ppm) පවතී.

කැබැල්ල, පැණිතෝර, කූරතම්පලා, ගිරාපලා, කිරිඅගුණ, ලුනුවිල ආශ්‍රිතව ද සැලකිය යුතු තරම් ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වයක් තිබෙන බැව් නිරීක්ෂණය කර ඇත (27 –  33 ppm).  කිරිහැන්ද, මියෙන දළු හා ගොනිකා හි එම ක්‍රියාකාරිත්වය මුරුන්ගා තරම්ම ප්‍රබල නොවේ.  යුරෝපීය එළවලුවක් වන බෝංචි හි ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වය 48 ppm පමණ වේ, ලීක්ස් හි එම අගය 99 ppm පමණ වෙයි. අමු මැල්ලුම් ලෙස ආහාරයට ගැනීම මෙන්ම මද උණුසුමෙන් මැල්ලුම් මලවා ආහාරයට ගැනීම පුරුද්දකි. උෂ්ණත්වය නිසා ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිත්වය වෙනස් වීම සිදුවේ. නමුත් මෙම අධ්‍යනය අනුව පෙනී ගියේ සාම්ප්‍රදායිකව මැල්ලුම් මලවන ආකාරය මත එම ප්‍රතිඔක්සිකාරක ගුණ සැලකිය යුතු තරම් වෙනස්  නොවන බවයි.

මෙම පරාමිතික මගින් එම පළාවර්ග හි සම්පූර්ණ පෝෂ්‍ය ගුණය හා ඖෂධීය ගුණය තීරණය කිරීමට නොහැකිය. නමුත් යුරෝපීය පළා ප්‍රචලිත වීමට ප්‍රථමව අප සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු ආශ්‍රිතව වූ මෙම පළා වර්ග ඇතුළු එක් එක් ප්‍රදේශ ආශ්‍රිතව වූ පළා වර්ග මගින් පෝෂණ අවශ්‍යතාව හා ආහාරය සතු ඖෂධීය ගුණ කෙරෙහි දායකත්වයක් සැපයූ බැව් ආයුර්වේද හා හෙළවෙදදුරන් දක්වන අදහස් මගින් මැනවින් පෙනී යයි. එහෙයින් අප භාවිතයෙන් යටපත් වූ මෙවන් පළා වර්ග මතුකරමින් ආහාරයට ගත යුතු ආකාරය, සකස් කළ යුතු ආකාරය මෙන්ම කුමන රෝග පීඩා සදහා ගතයුතුද නොගත යුතුද ආදී වශයෙන් වූ බොහෝ කරුණු මතු කිරීම ඒ පිළිබදව අත් දැකීම ඇති සියලු දෙනාගේ වග කීම වේ.

නිපුන් බන්ඩාර අටුගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT