විවිධ අභියෝගයන්ට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව විදේශ ඇමැති, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය.
ආසියා පැසිෆික් බාලදක්ෂ වර්ධන සම්බන්ධීකාරකවරුන්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීම ම රට සාමාන්‍ය තත්ත්වයට පත්වීම පිළිබඳ හොඳ සාක්ෂියක් බව හෙතෙම කීවේය. ආසියා ශාන්තිකර කලාපීය බාලදක්ෂ වර්ධන සම්බන්ධීකාරක හමුවේ සමාරම්භක උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පසුගියදා (13) එක්වෙමින් විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. විවිධ ස්ථානවල සිටින බාලදක්ෂයන් එකට එක් කරමින් මෙවැනි වැඩසටහන් පැවැත්වීම ගැන සිය ප්‍රශංසාව පුදකර සිටින බවද ඒ මහතා පැවසීය. පසුගිය වසර තුනේ ඇති වූ විවිධ ගැටලු නිසා ආර්ථික ප්‍රශ්න ඇති වූ බව පැවැසූ ඇමැතිවරයා මේ වන විට එම අභියෝග ජයගනිමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව පැවසීය.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් පවත්වන ලද ජාත්‍යන්තර රැස්වීමකට විදේශ ඇමැතිවරයාගේ පැමිණීම අගය කරනවා. ශක්තිමත් සාමාජික වර්ධනයක් තිබෙන නිසා මේ හමුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හේතු වුණා. මේ වන විට ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජික සංඛ්‍යාව 115000 දක්වා ළඟා කර ගැනීමට හැකි වී තිබෙනවා. බාලදක්ෂ ක්‍රියාකාරකම් සඳහා රජයෙන් ලැබෙන සහයෝගය අප මෙහිදී අගය කරනවා. බාලදක්ෂ ව්‍යාපාරයේ ලෝක සංවිධානයේ ආසියා ශාන්තිකර සාම ආධාර මධ්‍යස්ථානයේ ආයතනික සංවර්ධන සහ අධ්යක්ෂ එස්.ප්‍රසන්න ශ්‍රීවාස්තවා, මූලස්ථාන බාලදක්ෂ කොමසාරිස් සහ වැඩමුළු අධ්යක්ෂ නීතිඥ සමින්ද ජයසේකර මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ. ආසියා පැසිෆික් කලාපයේ රටවල් දාහතරක වර්ධන සම්බන්ධීකාරකවරුන් මේ රැස්වීමට එක්ව සිටින අතර එළැඹෙන 17 වැනිදා දක්වා මෙය පැවැත්වේ. නියෝජ්‍ය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් එම්.එෆ්.එස් මූහීඩ්, හිටපු ප්‍රධාන කොමසාරිස්, මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් බාලදක්ෂ නායකයෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.