Home » පළාත් පාලන ආය­ත­න­වල සේව­ක­යන් ස්ථීර කිරීමේ ගැට­ලු­වට විස­ඳුම් ඉදිරි අය­වැ­යෙන්
පළාත් සභා­වල වැඩි­දෙ­නෙක් ආඥා පන­ත­වත් කියවා නෑ:

පළාත් පාලන ආය­ත­න­වල සේව­ක­යන් ස්ථීර කිරීමේ ගැට­ලු­වට විස­ඳුම් ඉදිරි අය­වැ­යෙන්

by Gayan Abeykoon
September 16, 2023 1:13 am 0 comment

නුවන් කොඩිකාර

වසර කීපයක සිට පවතින පළාත් පාලන ආයතනයන්හි සේවකයන් ස්ථීර කිරීමේ ගැටලුව ඉදිරි අයවැයෙන් විසඳීමට උත්සාහ කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. එහිදී පුමුඛත්වය දිය යුතු තැන් සම්බන්ධයෙන් තවමත් වාර්තාවක් නැතැයි අගමැතිවරයා කීවේය. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (14) එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. පළාත් සභා හා පළාත් පාලන නීති කාලයට ගැළපෙන සේ වෙනස් විය යුතු බවත් සභාවල ඉන්න බොහෝ දෙනෙක් ආඥා පනතවත් කියවා නැති බවත් අගමැතිවරයා කියා සිටියේය. අගමැතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය. බස්නාහිර පළාතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හරියට කෙරෙන්නේ නැහැ කියා ජනතාවගෙන් දැඩි විරෝධයක් තිබෙනවා.

ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල අපද්‍රව්‍ය වැඩියි. බස්නාහිර පළාතේ කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙගා පොලිස් සැලැස්මෙන් හඳුනාගෙන තිබෙනවා. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණා. තවමත් කුණු කසළ කළමනාකරණයට නිසි පියවර අරන් නැහැ. හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වුණොත් මුළු කොළඹ දිස්ත්‍රික්කයම යට වෙනවා. ගම්පහත් එහෙමයි. මේ වගේ දේවල් සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තෙන් සිතන්න. ‍ කොළඹ වරිපනම් අය කිරීම් තවමත් නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඇතුළත් බස්නාහිර පළාත කියන්නේ ලංකාවේ පෝසත්ම පළාත. පොහොසත්ම පළාතේ වරිපනම් අය කිරීම් නිසි පරිදි සිදුවෙන්නේ නැතිනම් අමාත්‍යාංශයක් විදියට දෝෂාරෝපණ චෝදනා එල්ල වෙනවා. ඈත ගම්වල ආදාහනාගාරයක් නැහැ. ඒ වගේ ව්‍යාපෘතියකට මහා භාණ්ඩාගාරයට මුදල් දෙන්න බෑ කියන්න බැහැ. සමහර නගර සභාවල දෙක තුන තියෙනවා. වැඩ කරන්නේ එකයි. ඈත පළාත්වලට ආදාහනාගාරයක් නැතිනම් මොකක්ද තත්ත්වය. නාගරික ප්‍රදේශවල ආදාහනය කරන්න යන වියදම සහ ක්‍රමවේදය ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි. පළාත් සභාවටත් පළාත් පාලන ආයතනවලට සහ අනුබුද්ධ සහයෝගය දක්වන මූල්‍යමය ආයතනත් එකතු කරගෙන අලුත් ප්‍රවේශයකට ගමන් කිරීමට අවශ්‍යයි. පුනර්ජනනීය බලශක්තිය, අපද්‍රව්‍ය ක්ෂේත්‍රය ඒ වගේම තොරතුරු තාක්ෂණය වඩාත් උපයෝගී කරගෙන ඩිජිටල් තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ගැන විශේෂයෙන් සාකච්ඡා කර අවධානය යොමු කළයුතු වෙනවා. මහ නගර සභා ආඥා පනත අරගෙන බැලුවොත් කොපමණ දේවල් කරන්න පුළුවන්ද? නමුත් කොයි තරම් දේවල් කරන්නෙ නැද්ද? මේ දේවල් තෝරා බේරාගන්න විශේෂ සම්මන්ත්‍රණයක් නිලධාරීන්ට පැවැත්විය යුතුයි. සභාවල ඉන්න බොහෝ දෙනෙක් මේ ආඥා පනතවත් කියවල නැහැ. පළාත් පාලන ආයතන බිහි වී තිබෙන්නේ අපේ ප්‍රදේශවල ජනතාවගේ පහසුකම් ඇති කරන්න.

බදු ගෙවන්න කියා බල කළත් ඒ අය බදු ගෙවන්නේ යමක් බලාපොරොත්තුවෙන්. සේවාවන්, ආරක්ෂාව, දරුවන්ගේ දියුණුව, හොඳ පරිසරයක් ආදී දේවල් රාශියක් එයට අන්තර්ගතයි. පළාත් සභා නැති අවස්ථාවක ආණ්ඩුකාරතුමාට බලතල ප්‍රමාණයක් ඒකරාශි වී තිබෙනවා. මේවා ක්‍රියාත්මක කර ගැනීමට මැදිහත් වී හෝ උපදෙස් දීමේ හැකියාව මේ අමාත්‍යාංශයට තිබෙනවා. පළාත් සභා නවයයි තිබෙන්නේ. නිලධාරීන් හැටියට පළාත් සභා නවය සමඟ නිරන්තර සංවාදයක් සිදු විය යුතුමයි.

අඩු ආදායම් ලබන ජනතාව වෙනුවෙන් සේවය කරන්න. අපට ආධාර ලැබෙනවා. ඒ ආධාර වල එක කොටසක් අඩුම ආධාර ලබන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළනැංවීමට යොමුකරන්න කියා තමයි ආධාර දෙන්නේ. ඒ ගැන අපට වැඩපිළිවෙළක් තිබිය යුතුයි. පළාත් සභා හා පළාත් පාලන ක්ෂේත්‍රයේ විවිධ නීතිරීති වෙනස්කම්වලට භාජනය කළ යුතුයි. රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT