Saturday, May 10, 2025
Home » ධීවර හා ජලජ සම්පත් සංශෝ­ධන පනත් කෙටු­ම්ප­තට අනු­මැ­තිය

ධීවර හා ජලජ සම්පත් සංශෝ­ධන පනත් කෙටු­ම්ප­තට අනු­මැ­තිය

by Gayan Abeykoon
September 16, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත. මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීමටය.

මේ අතර ධීවරයන්ට වන හදිසි අනතුරුවලදී හදිසි ඇමතුම් සේවාවක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට නිර්දේශ කළේය. ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්‌වූ අවස්ථාවේ මේ අනුමැතිය ලබාදීම සිදු විය. මේ රැස්වීමට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ආංශික අධීක්ෂණ කාරක සභාවට පත්කරන ලද තරුණ නියෝජිතයෝ සහභාගි වූහ.

නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් (IUU) ධීවර කටයුතුවලදී, දැනට පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ වරදකරුවකු ලෙස සලකන්නේ බලපත්‍රලාභියා පමණි. එහෙත් බලපත්ලාභියා කවරේද යන්න ධීවර පනතේ අර්ථ නිරූපණය කර නැත.

මේ හේතුවෙන් නීතිමය පියවර ගැනීමේ දී බාධා ඇති වී තිබේ.

නව සංශෝධන හරහා බෝට්ටුවේ අයිතිකරු, බෝට්ටුවේ නියමුවා, එහි කාර්ය මණ්ඩලයේ යම් සාමාජිකයකු සහ බෝට්ටුවේ ගමන් කරන තැනැත්තකු එම වරදට වගකිවයුතු කෙනෙකු හැටියට සැලකීම ඇතුළු කරුණු පනත් කෙටුම්පතට සංශෝධන ලෙස ඇතුළත් කර ඇති බව නිලධාරිහු සඳහන් කළහ.

එසේම මේ විධිවිධාන සංශෝධනය කරන ලෙස ධීවර සංගම් ද ඉල්ලීම් කර ඇති බව ද නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා විසින් 2023 ජූලි 05 වැනිදා පාර්ලිමේන්තුවේ පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කෙරිණි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුවට ප්‍රකාරව පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධන ගැන ද මෙහි දී සාකච්ඡා කර අනුමැතිය ලබා දී ඇත.

ධීවර කටයුතුවල යෙදෙන බෝට්ටු අනතුරට පත් වන විට අනතුරට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමට සහ නීතිමය ක්‍රියාමාර්ග ලබා ගැනීමට අමාත්‍යාංශයෙන් පත් කළ නිලධාරීන් නැති බව කාරක සභාවේ සභාපති ඩී. වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. වෙරළබඩ දිස්ත්‍රීක්ක 15ක ධීවර කාර්යාල ඇති බවත් ඒ සඳහා ධීවර පරීක්ෂකවරුන් සහ සංවර්ධන නිලධාරීන් පත් කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.

එසේම, සෑම ප්‍රදේශයකම නාවික හමුදාවේ සහාය ද ලබා ගන්නා බවද නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන්ට අදාළ ප්‍රදේශයේ ධීවර පරීක්ෂකවරුන් නොහඳුනන බැවින් ඕනෑම ප්‍රදේශයක ධීවරයන්ට හදිසි අනතුරු සිදුවුවහොත් වහාම ඇමතිය හැකි හදිසි ඇමතුම් සේවාවක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කර ඇත.

කාරක සභාවේ සාමාජිකයන් වන සුදත් මංජුල, කපිල අතුකෝරල, කින්ස් නෙල්සන් ,පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහත්වරුද කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය මත ද මේ රැස්වීමට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT