සිංගප්පූරුවේ දී ගෙල කපා ඝාතනය කළේ යැයි කියන කාන්තාවකගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා විසින් මීගමුව රෝහලේදි පහළොස් 15 වැනි දින (ඊයේ) සිදු කරන ලදී.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 50, මල්වල රත්නපුරයේ පදිංචි දියවන්නාගේ සෙව්වන්දි මදුකා කුමාරි (33) නමැත්තියයි.
මෙම තැනැත්තිය තම පුරුෂයාගේ ඉල්ලීම පරිදි දෙදෙනාම සිංගප්පූරුවට සංචාරයක් සඳහා ගොස් ඇත. එහිදී පුරුෂයා විසින් ඇගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි අනාවරණය වෙයි.
මෙම දෙදෙනාම 2021 වර්ෂයේ දී විවාහ වූ බව කියැවේ. 2022 වර්ෂයේ දී ඔස්ට්‍රේලියාවට ගොස් ඇත. පසුව ස්වාමිපුරුෂයාගේ ඉල්ලීම පරිදි මෙම කාන්තාව 2023 සැප්තැම්බර් 8 වැනි දින මෙම සිංගප්පූරු සංචාරයට එක්ව තිබේ. ඝාතනයට ලක්වූ බව කියන කාන්තාවගේ දේහය කටුනායක ගුවන්තොටුපොළට එවා තිබුණි.
වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා 15 වෙනි දින (ඊයේ) මීගමුව රෝහලේ මෘත ශරීරාගාරය වෙත පැමිණ දේහය පරීක්ෂා කරන විට දේහයේ ගෙල වටා ප්ලාස්ටරයක් දමා තිබූ බව නිරීක්ෂණ සටහන්වල සඳහන් කර තිබුණි. මීගමු රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මඟින් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු රත්නපුර පොදු සුසාන භූමියේ අවසන් කටයුතු කිරීම සඳහා දේහය මරණකාරියගේ පියාට භාරදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලදි.