කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු පවතින අවස්ථාවේදී විවෘත අධිකරණය තුළ සිට මහේස්ත්රාත්තුමිය දෙසට ලේසර් කිරණ ආලෝකයක් එල්ල කළ උපකාරක පන්ති ගුරුවරයකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.
කිසියම් පුද්ගලයෙකු ලේසර් කිරණ ආලෝක දහරාවක් මහේස්ත්‍රාත්වරිය දෙසට එල්ල කර ඇති බවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබිණි.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා අපරාධ අංශයේ නිලධාරීන් සමග විවෘත අධිකරණය වෙත පැමිණ මහේස්ත්‍රාත්තුමියගේ නියෝගය පරිදි විවෘත අධිකරණයේ වැඩ කටයුතු තාවකාලිකව නතර කර නඩු කටයුතු සඳහා පැමිණ සිටි පුද්ගලයන් සියයකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කිරීමේදී සැකකරුවකු සන්තකයේ තිබී ලේසර් කිරණ ආලෝකය නිකුත් කරන උපකරණයක් සොයා ගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී 2021 වසරේ නොවැම්බර් මාසයේදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 9 වන මහලේ විද්‍යුත් හැඳුනුම්පත් අංශයේ ගබඩාවේ ඇති ලිපි ලේඛනවලට ගිනි තබා අනර්ථය සිදු කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවකු බවට අනාවරණ වූ බව පොලිසිය කියයි.
ඇප මත මුදාහැර සිටින සැකකරු එම නඩු කටයුත්ත සඳහා අධිකරණයේ පෙනී සිටීමට පැමිණ සිටියදී මෙම ක්‍රියාව සිදුකර තිබිණි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝට්ටේ, කොටු බැම්ම පාර පදිංචි වයස අවුරුදු 30 පුද්ගලයෙකි.
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.