නාරම්මල සිට පාසල් සිසුන් පිරිසක් රැගෙන හෝමාගම දක්වා පැමිණෙමින් සිටි බස් රියක පිටුපසින් පැමිණි තවත් බස් රථයක් පාදුක්ක තුන්නාන ප්‍රදේශයේදී ගැටීම හේතුවෙන් අද (15) දින උදෑසන සිදු වූ අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් 21 දෙනකු සහ ගුරුවරියක පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පාදුක්ක පොලිසිය පවසයි.
නාරම්මල මයුරපාද මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථ හයක් හෝමාගම පිටිපන නැනෝ තාක්ෂණික ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගි වීමට පැමිණෙන අතරතුර ඉදිරියෙන් පැමිණි බස් රථය වාහන තදබදයක් හේතුවෙන් තුන්නාන ප්‍රදේශයේදී නැවැත්වූ අවස්ථාවේදී පිටුපසින් පැමිණි බස් රථය ඉදිරියේ නවතා තිබූ බස් රථයේ ගැටීමෙන් මේ අනතුර සිදුව ඇතැයිද පොලිසිය පවසයි. අනතුරින් පසු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ සිසුන් 18 දෙනකුට සුළු තුවාල පමණක් සිදුව ඇති බවත්, වැඩිදුර පරීක්ෂණ සඳහා සිසුන් තිදෙනකු හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යැවූ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරු පාදුක්ක පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නාරම්මල පාර අලව්ව ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පැවැත්වීය.