Home » රට වට්ටපු ආර්ථික ඝාත­ක­යන් සමඟ හිට­ගත් පිරිස් දැන් ජිනී­වා­ව­ලට කේලම් කියන්න සූදා­නම් වෙලා

රට වට්ටපු ආර්ථික ඝාත­ක­යන් සමඟ හිට­ගත් පිරිස් දැන් ජිනී­වා­ව­ලට කේලම් කියන්න සූදා­නම් වෙලා

-හිටපු එජාප පාර්ලි­මේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේ­මාන්න

by Gayan Abeykoon
September 16, 2023 1:12 am 0 comment

රටේ පෝලිම් ඇති කළ ආර්ථික ඝාතකයන් සමඟ හිටගෙන රට අරාජික කළ පිරිස් දැන් ජිනීවා ගොස් ගතු කීමට සූදානම් වන බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේද කීය.

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව ගැන විශේෂ යෝජනාවක් වෙනිසියුලාව ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසඳාගන්නා තෙක් අනවශ්‍ය පීඩනයක් යොමු නොකළ යුතු බවයි. ඒ වගේම ලාඕසය සහ නයිජීරියාව වැනි රටවල් ඒ කාරණය ගැන සමුළුවේ දී සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව ලෝකය ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි අවධානයකින් පසුවන බවත් සහයෝගය දැක්වීමට සූදානම් බවත් අපට පෙනී යනවා. ඒ අතරතුරේ විපක්ෂය නියෝජනය කරමින් ඇතැම් මන්ත්‍රීවරුන් ජිනීවා නුවරට ගොස් සෞඛ්‍ය අංශයේ පවතින බෙහෙත් ගැටලුව ගැන මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කරන බව ඔවුන් ප්‍රකාශ කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැන් කියුබාවේ සංචාරයක නිරත වෙනවා. G77 සමුළුව සමඟ සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් පවත්වන සමුළුවට සහභාගි වී ශ්‍රී ලංකාවේ ඉදිරිය වෙනුවෙන් තවත් බොහෝ පහසුකම් සහ අවශ්‍ය කාරණා සාකච්ඡා කිරීමට නියමිතයි.

පසුව ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙනවා. එහිදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගනිමින් ලංකාවේ ඉදිරිය වෙනුවෙන් අවශ්‍ය ආයෝජන සහ ව්‍යාපෘති ගැන සාකච්ඡා කිරීමට නියමිතයි.

ඉන්දියාවේ පැවැත්වෙන G20 සමුළුවට සහභාගි වන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කරමින් අපට නැඟී සිටීමට ශක්තිය දිය යුතු බව ප්‍රකාශ කළා. ඒ අනුව ලෝක නායකයන් ශ්‍රී ලංකාව සම්බන්ධව කොතරම් සැලකිලිමත් වෙනවාද යන්න පැහැදිලියි. එයට හේතුව වන්නේ ජනාධිපතිවරයාගේ රාජ්‍යතාන්ත්‍රිකභාවය බව සඳහන් කළ යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන පසු විපරම් කිරීම ආරම්භ වුණා. සමඟි ජන බලවේගය ඔවුන්ට කේලම් කීමට සූදානමින් ඉන්න බව පේනවා. ඔවුන් එසේ කේලම් කීම මේ රටේ ජනතාවට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග බව ඔවුන්ට මතක් කර දිය යුතුයි.

ඕනෑම වෙලාවක ආණ්ඩුව භාරගන්න සූදානම් බව සමඟි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබෙනවා. මේ රජය භාර ගන්න කියා කීප වතාවක්ම පසුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔවුන්ට කතා කළා. නමුත් භාර නොගෙන මඟ හැරියා. දැන් ඔවුන් ආණ්ඩු භාර ගන්න සූදානම් බව කියනවා.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x