Thursday, September 28, 2023
Home » පොදු අපේක්ෂා වෙනුවෙන් පොහො­ට්ටුවේ දේශ­පා­ලන ව්‍යාපා­රය මෙහෙ­ය­ව­නවා

පොදු අපේක්ෂා වෙනුවෙන් පොහො­ට්ටුවේ දේශ­පා­ලන ව්‍යාපා­රය මෙහෙ­ය­ව­නවා

-පාර්ලි­මේන්තු මන්ත්‍රී මහා­චාර්ය රංජිත් බණ්ඩාර

by gayana
September 16, 2023 1:13 am 0 comment

පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් නොව පොදු අභිලාෂ ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ව්‍යාපාරය මෙහෙයවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණ ඉලක්ක කරගත් අභියෝග පරයමින් අභිලාෂ ජයගන්නා ස්ථානයකට ගමන් කරමින් සිටින බව පෙන්වා දෙන ඒ මහතා මේ හේතුවෙන් රජය සමඟ තිබෙන බැඳීම කොන්දේසි විරහිතව රාජ්‍ය ආරක්ෂා කිරීම ගැන බැඳීමක් පමණක් බවද තම පක්ෂය සැමදා ජයග්‍රහණය ඉලක්ක කරගෙන පාක්ෂිකයන් සමඟ ඉදිරියට ගමන් කරන දේශපාලන ව්‍යාපාරයක් බවද පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පෙරේදා (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

“අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට ජයග්‍රහණය හැර වෙන කිසිදු විකල්පයක් පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි අභියෝග පරදා අභිලාෂ ජයගනිමු කියන මූලික පරමාර්ථයෙන් කටයුතු කරන්නේ. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට රාජ්‍ය ආරක්ෂා කිරීම අපේ මූලික වගකීම විදිහට සලකන දේශපාලන පක්ෂයක්. අපි පුද්ගල වාසි අරමුණු කරගෙන ජයග්‍රහණය මෙහෙය වන්නේ නැහැ. අපේ දේශපාලන ව්‍යාපාරය මෙහෙයවන්නේ පොදු අරමුණු ඉලක්ක කරගෙනයි. පෞද්ගලිකව අපි හැමෝටම යම් යම් අපහසුකම් සිදු වෙන්න ඇති. අපි පක්ෂයක් විදිහට යම් යම් පසුබෑම්වලට ලක් වෙන්නත් ඇති. හැබැයි අපි හැමදාම ජයග්‍රහණ ඉලක්ක කරගෙන පාක්ෂිකයන් සමඟ ඉදිරියට ගිය දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා මේ දේශපාලන ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ ඉදිරියටත් රාජ්‍ය ආරක්ෂා කරනවා කියන ප්‍රතිඥාව යටතේ දේශපාලනය කරන කෙනෙකු පමණයි.

ඒ නිසා පෞද්ගලික පරමාර්ථ මුදුන් පමුණුවා ගෙන පක්ෂයේ පරමාර්ථවලින් එළියට බැහැලා කටයුතු කරන පිරිසට එච්චර දුරක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගමන් කරන්න ලැබෙන්නේ නැහැ. අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාට මුහුණ දෙන්න සිදුවුණු අකරතැබ්බය. පක්ෂයේ පරමාර්ථය වෙනුවෙන් තමයි අපි පෙනී සිටින්නේ. ඒ නිසා පක්ෂයේ පරමාර්ථය වෙනුවෙන් අපි සෘජුවම පාක්ෂිකයා සමඟ සම්බන්ධ වන, ගම් මට්ටමින් පාක්ෂිකයා දැනුම්වත් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අලුත් සාමාජිකයන් බඳවා ගන්න අපේ ශාඛා සමිති ප්‍රතිසංවිධානය කරන ව්‍යාපාරයක් අපි ආරම්භ කළා පසුගිය දෙවැනිදා. ඉතාම සාර්ථක ආකාරයෙන් රටපුරාම මේ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. අපි මේ පාක්ෂිකයන්ට කියනවා මේ අභියෝගය පරාජය කර අභිලාෂයන් ජයග්‍රහණය කරගත යුතුයි කියලා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණ ඉලක්ක කරගත් අභියෝග පරයමින් අභිලාෂ ජය ගන්නා ස්ථානයකට ගමන් කරමින් ඉන්නේ.

ඒ නිසා රජය සමඟ අපට තිබෙන බැඳීම කොන්දේසි විරහිතව රාජ්‍ය ආරක්ෂා කිරීම ගැන බැඳීමක් පමණයි. මේ රටේ කල්පවත්නා ප්‍රශ්න, එනම් 2005 මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වනවිටත් තිබුණු ප්‍රශ්න එතුමා මැදිහත් වෙලා නිරාකරණය කළා. ඒවා අවුරුදු 20ක් 25ක් එකතැන පල්වෙමින් තිබුණු ප්‍රශ්න. ඒ ප්‍රශ්න නැවත වාරයක් අද හිස ඔසවමින් තිබෙනවා. දිළිඳුකමට කෙටිකාලීන විසඳුම් නැහැ. අස්වැසුමෙන් මේ රටේ දිළිඳු ජනයාගේ ජීවන තත්ත්වයේ ජීවන මට්ටම තහවුරු කරන්න පුළුවන්කමක් නැහැ. අපේ විරැකියාවට අපි පිළිතුරු සොයා ගත යුතුයි.

අපි විශ්වාස කරනවා, රාජ්‍ය ආරක්ෂා කරනවා මෙන්ම රජයට මේ රටේ අතිමහත් බහුතරයක් ජනතාවගේ ඕනෑ එපාකම් වෙනුවෙනුත් කටයුතු කරන්න වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නඟනවිට ඇතිවෙන තත්ත්වයන්ට මුහුණ දෙන්න අපි සූදානම් වෙන්න ඕනෑ. මේ චැනල් 4 එක ගැන අපි කතා කරනවාට වඩා ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ මහතා ඉතා හොඳ පුවත්පත් සාකච්ඡාවක් කර තිබුණා පහුගිය දවසක. එතුමා කියන විදිහට මේ කියන පිරිස හැමෝම පෙනී ඉඳලා සිටින්නේ එක්කෙනෙක් වෙනුවෙන්. අපේ පැත්තට ඇඟිල්ල දික්කරන පිරිසට කියන්න කැමතියි අපි 2018 පළාත් පාලන මැතිවරණවලින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ඉන්න අවස්ථාවක තමයි ජනපදනම අපේ පැත්තට සේන්දු වෙලා තිබුණේ. අපට මොකට ද සහරාන්ට කියන්නේ මෙය තහවුරු කරන්න කියලා.

අපේ රටේ දේශපාලනය පිළිබඳව හොඳ හැදෑරීමක් තිබෙන කෙනෙක් වෙන්න ඕනෑ. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට බලාපොරොත්තු වෙන ඊළඟ ජනාධිපතිවරයා මේ කියන ජාතියේ කෙනෙක් වෙන්න ඕනෑ”යනුවෙන් සඳහන් කළේය.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT