ගම්පහ නගරයේ පිහිටි පාසල් දිවා කාලයේ අවසන් වී තිබියදී මහා මාර්ගයේ සිටින පාසැල් දරුවන්ගේ සහ මහජනතාවගේ ජීවිතවලට අන්තරාදායක වන අයුරින් බීමත්ව අන්තරාදායක ලෙස පුද්ගලික බස් රථයක් ධාවනය කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරු වූ එම පුද්ගලික බස් රථයේ රියැදුරුට බරපතළ වැඩ ඇතිව මාස හයක සිරදඬුවමක් ගම්පහ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය ඊයේ (13) නියම කළේය.
බරපතළ වැඩ ඇතිව මාස හයකට පැනවූ එම සිරදඬුවම වසර 5 කට අත්හිටුවන ලෙසට අධිකරණය තීන්දු කළේය. එම අත්හිටවූ සිරදඬුවමට අමතරව රුපියල් 60000ක දඩයක් ද නියම කෙරුණි.
එම රියැදුරුගේ රියැදුරු බලපත්‍රය මාස හයක කාලයකට තාවකාලිකව අත්හිටුවන ලෙසටද නියම විය.
ගම්පහ – කිරිඳිවැල ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පුද්ගලික බස් රථයක රියැදුරු ලෙස කටයුතු කරන ලද කිරිඳිවැල, රඳාවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නවරත්න කුමාරලාගේ නලින් දර්ශන නැමැති රියදුරුට මෙසේ අත්හිටවූ සිරදඬුවම් සහ දඩ මුදල් නියම වී රියදුරු බලපත්‍රය මාස හයකට තාවකාලිකව අත්හිටුවීමට නියම කෙරුණි.
කිරිඳිවැල සිට ගම්පහ බලා මගීන් ප්‍රවාහනය කළ පුද්ගලික බස් රථය ගම්පහ නගරයට ආසන්න වන විට මාර්ගය අවහිර කරමින් මගීන් බස් රථයට ගොඩ කර ගැනීම සහ බැස්සවීම සිදු කළ බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. එම අවස්ථාවේ මාර්ගයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් රියැදුරුට බස් රථය අයින්කර නවතන ලෙසට සංඥා කර ඇති බව පොලිසිය පවසයි. පොලිස් නිලධාරීන් සිදු කළ එම සංඥා සහ උපදෙස් පිළිනොගෙන පොලිස් අණ නොතකා පාසල් දරුවන්ගේ සහ ජනතාවගේ ජීවිතවලට අන්තරාදායක වන අයුරින් දකුණු මංතීරුවේ බස් රථය ධාවනය කරමින් පලා ගොස් ඇති බව පොලිසිය කියයි. පොලිස් නිලධාරීන් පොලිස් යතුරුපැදිවලින් බස් රථය පසු පස ලුහුබැඳ ගොස් ගම්පහ නගරය ආසන්නයේ දීම බස් රථය නවතා රියැදුරුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කරන අවස්ථාවේ සැකකරු බීමත්ව සිටින බවට අනාවරණය වූ බව පොලිසිය කීය.