ශ්‍රී ලංකාවේ ලොකු කුඩා සෑම තරාතිරමක ප්‍රේක්ෂකයන් හා රටේ සියලු මාධ්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ සිටින බවත්, ඒ තුළින් ක්‍රීඩකයන් තුළ ගොඩනැඟී ඇති විශ්වාසය ජයග්‍රහණයට හේතුවක්වී ඇති බවත් එක්දින හා විස්සයි20 නායක දසුන් ශානක පවසයි. ඒ ලැබුණු විශ්වාසය රැකගෙන ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණ ගෙනදීමට සියලු ක්‍රීඩකයෝ සැදී පැහැදී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පැවසීය.
දසුන් ශානක එලෙස පැවසුවේ කොළඹ තරු පහේ හෝටලයකදී අයිසීසී ක්‍රිකට් ලෝක කුසලාන සංචාරය නිමිත්තෙන් පැවති උත්සවයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය. අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය පියවි ඇසින් ක්‍රීඩා ලෝලීන්ට දැක ගැනීමට හා දෑතින් ස්පර්ශ කිරීම උදෙසා අවස්ථාව උදාකරමින් රන් ආලේපිත කුසලානය මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන චාරිකාවක නිරත වන අතර, එය පිළිගැනීම වෙනුවෙන් මේ උත්සවය සංවිධාන කර තිබිණි.
“අපේ ප්‍රේක්ෂකයෝ හැමදාම අප සමඟ සිටියා. විශේෂයෙන්ම ආසියානු කුසලානයේ පාකිස්තානයට එරෙහි තරගයේ අන්තිම පන්දුව වනතුරු අපි ජය ගනියි කියා නියපොතු සපමින් අපේ ජනතාව බලා සිටියා. අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන සහයෝගය හා විශ්වාසය අපට වැදගත්. ඒ විශ්වාසය ක්‍රීඩකයන් ලෙස රැක ගන්නා බවට පොරොන්දු වෙනවා” දසුන් ශානක පැවසීය.
ඉදිරියේදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ සූදානම හා මේ දිනවල දසුන් ශානක පන්දු යවන්නකු ලෙස සාර්ථක වුවද, පිතිකරුවකු ලෙස පත්ව ඇති පසුබැසීම පිළිබඳ මාධ්‍යවේදියකු කළ විමසීමකදී කියා සිටියේ තමන් යම් පසු බැසීමක සිටින බව පිළිගන්නා බවයි.
“ඇත්ත, පන්දුවට පහරදීමේදී විශාල ලකුණු ගණනකට මට එන්න බැරි වුණා. එහෙම දේවල් ක්‍රීඩකයන්ට ඇති වෙනවා. නමුත් ලෝක කුසලානය පැවැත්වෙන ඉන්දියාවේ තණතිලි පිතිකරුවන්ට ගොඩක් හිතකරයි. එහිදී මගේ පිතිකරණ දක්ෂතා යළිත් බලන්න පුළුවන් වේවි. ඒ ගැන සැකයක් තියා ගන්න එපා. අපේ කණ්ඩායම ඉතාම හොඳයි. ලංකාවේ ක්‍රිකට් ගහපු අය පවා හිතුවේ නෑ ආසියානු කුසලාන තරගාවලියේ අපි අවසන් තරගයට ඒවි කියා. නමුත් අපි ඒ දේ කළා. ලෝක කුසලාන තරගාවලියේදී අපි පෙරැළියක් කරනවා” දසුන් ශානක පැවසීය.
“ක්‍රීඩකයෝ අලුත් ද පැරණි ද කියා වෙනසක් නෑ. වෙල්ලාලගේ, මතීෂ වගේ නවකයන් අවශ්‍ය වේලාවට කඩුලු අරන් දුන්නා. සියලු ක්‍රීඩකයන් හොඳ ජයග්‍රාහී මානසිකත්වයක ඉන්නවා. ඒක අපට හොඳ මාවතක්”
“ලෝක කුසලානයේ අපට අභියෝග තියෙනවා. අභියෝග කියන එක කවදාවත් නිමක් වන්නේ නෑ. ජීවිතයත් ඒ වගේ. අනෙක් කණ්ඩායම්වලටත් අපව අභියෝගයක්. අභියෝගවලට මුහුණ දෙන්න සියලු ක්‍රීඩකයන් සූදානමින් ඉන්නවා. ඉන්දීය තණතිලිවලට උචිත දඟ පන්දු යවන්නන් අපට සිටිනවා. ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු අතර සිටිනවා. ඒ පරිසරය අපේ ක්‍රීඩකයන්ගේ දස්කම්වලට වඩාත් උචිතයි” දසුන් ශානක පැවසීය.
අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය ඊයේ ඉන්දියාව බලා ගමන් ආරම්භ කළ අතර, එය කුවේට්, බහරේන්, මැලේසියාව, අමෙරිකා එක්සත් ජනපදය, නයිජීරියාව, උගන්ඩාව, ප්‍රංශය, ඉතාලිය වැනි ටෙස්ට් ක්‍රීඩා නොකරන රටවල් හරහා සංචාරය කිරීමට ද නියමිතය.
ක්‍රිකට් ලෝක කුසලානය සෙන්ටිමීටර් 60ක උසකින් යුක්ත වන අතර, එහි මුදුණේ රන් ගෝලයක් රිදී තීරු තුනකින් රඳවා ඇත. කඩුල්ල සහ බේල්ස් ලෙස හැඩගස්වා ඇති තීරු, ක්‍රිකට් ක්‍රීඩාවේ පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන මූලික අංශ නියෝජනය කරයි. කුසලානයේ බර ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 11ක් වන අතර එහි පාදයේ පෙර ජයග්‍රාහකයන්ගේ නම් කොටා ඇත. ඉදිරි තවත් කණ්ඩායම් දහයකට ඔවුන්ගේ නම් ලියා තැබීමට ඉඩ තබා තිබීම ද විශේෂත්වයකි.